අප කී ලෙසම ආශ්චර්යයක් පහළ වූයේ නැත. අප ලකුණු 66කින් පරාදය. දඹුල්ලේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 66කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමත් විය.
ලකුණු 377ක ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය කිරීම එක් දින තරගයක දී කිසිසේත්ම පහසු දෙයක් නොවේ. ප්‍රතිවාදියා ඉන්දියාව වෙනවිට එය සිහිනයකට ආසන්නය. වගකිමක් ගත යුතු අවස්ථාවක දී වගකීම් සහගත ක්‍රීඩා කිරීමේ ඉතිහාසයක් නැති ක්‍රිකට්වලටම නාකි වූ නිරෝෂන් දික්වැල්ල මෙන්ම ජවය තිබුණත් මොළය ටිකක් අඩු අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවන් වෙනවිට වැඩේ කොහොමත් අමාරුය. .
ඉන්දීය ආරම්භක පිතිකරු වෛභව් සූරියවංශ පන්දු 11කදී ලෝකයේ වේගවත්ම පළමු පෙළ’ (List A) අර්ධ ශතකය වාර්තා කරමින් ලෝක වාර්තාවක් තැබුවේය. ඔහු පන්දු 29කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 10ක් සමඟින් ලකුණු 94ක් රැස් කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 377ක් ලබා ගත්තේය. තිලක් වර්මා ලකුණු 67ක් සහ රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 40ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළහ. ඉනිමේ අගභාගයේදී අනුකුල් රෝයි පන්දු 15කින් වේගවත් ලකුණු 39ක් රැස් කළේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනුජ සහන් ලකුණු 39කට කඩුලු 2ක් බිඳ හෙලීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට පන්දුවාර 47.4කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 311ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වනුජ සහන් ලකුණු 62ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 52ක් ලබා ගත්හ. වනුජ සහන් සහ විජයකාන්ත් වියස්කාන්ත් අතර 7වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 77ක සබඳතාව බිඳ දැමීමට අනුකුල් රෝයි සමත් විය. පන්දු යැවීමේදී යෂ් ඨාකූර් සහ විප්‍රාජ් නිගම් කඩුලු 3 බැගින් දවා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූහ.









