යුරෝපා සංගමයේ GSP+ බදු සහනය ලබාදීමේදී සලකා බලන නිර්ණායක වත්මන් රජයේ ප්‍රතිපත්ති හා සමානුපාත වන බව බවත්, GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බවත් යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) අද ප්‍රකාශ කළේය.
මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ජනාධිපති කාර්යාලයේදී අද (30) පැවැති සාකච්ඡාවේදී චාල්ස් වයිට්ලි මේ බව කියා සිටියේය.
යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළින් වාණිජමය ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවත් ඉදිරියටත් වාණිජමය ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බවත් චාල්ස් වයිට්ලි සඳහන් කළේය.
යුරෝපා සංගමයේ GSP+ සහනය මගින් ප්‍රමිතිගත හා ගුණාත්මක නිෂ්පාදන සැපයීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් දිරිගැන්වීම අපේක්ෂා කරන බවද යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාර්ස් වයිට්ලි පැවසීය.
යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ළඟා කර ගත් ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටී තිබෙන අවස්ථාවල යුරෝපා සංගමය සිදු කළ උපකාර සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවය.
යුරෝපා සංගමයේ GSP+ සහනය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට හිතකර තත්ත්වයක් ඇති කිරීමටත් ආර්ථිකයෙහි දියුණුවක් ඇති වීමටත් බලපෑ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය.
තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටීමට පැවැති දේශපාලන ක්‍රමය සහ එවක පාලකයන්ගේ නාස්තිය හා දුෂණය හේතු වූ බවය. මෙරට යළි විධිමත් පාලනයක් සහිත රටක් බවට පරිවර්තනය කරමින් යන බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව කෙරෙහි සමස්ත පුරවැසියාගේ බලපොරොත්තු රැඳී තිබෙන බවත් මීට පෙර ශ්‍රි ලංකාවේ ආණ්ඩු බිහි වූයේ දකුණේ සිංහල ඡන්ද මත පදනම්ව බවත්, මෙවර උතුරේ දෙමළ ජනතාවත්, නැගෙනහිර මුස්ලිම් ජනතාවත්, දකුණේ සිංහල ජනතාවත් වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට දායක වූ බවත් සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක එම ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකිරීමේ වගකීම් නිවැරැදිව සිදු කරන බවද අවධාරණය කළේය.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු , අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරෙනෝ(Carmen Moreno) , වෙළෙඳ හා ආර්ථික ආරක්ෂාව පිළිබඳ ජනරාල්, ප්‍රතිපත්ති නිලධාරී ගයිඩෝ ඩොලාරා ( Guido Dolara), යුරෝපීය භාහිර ක්‍රියාකාරී සේවයෙහි ශ්‍රී ලංකා නිලධාරී ගලිජා අගිෂේවා (Galija Agisheva) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







