බලපිටිය ජයකාන්ත ලියනගේ –
පන්සල් යායුතු බව පවසමින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ දන්සැල් පැවැත්වීම තහනම් කර නොමැති බවත්, නියමිත අවසරය ලබාගෙන ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට දන්සැල් පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවත් ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍යය පරීක්ෂක සංගමයේ සභාපති කසුන් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

ගාල්ල, නාගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් වෙසක්, පොසොන් සහ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනවල දන්සැල් පැවැත්වීම මෙන්ම භූත මන්දිර, හොල්මන් ගුහා සහ ඔළුබක්කන් නැටවීම ආදිය තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය බලප්‍රදේශ 21 ක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 140 දෙනෙකු වෙසක් සතියේ දන්සැල් අධීක්ෂණ කටයුතු සඳහා යොදවා ඇති බව හෙතෙම පවසයි. යම් පාර්ශවයක් දන්සැලක් පවත්වන්නේ නම්, ළඟම ඇති ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය හෝ අදාළ කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර එය ලියාපදිංචි කරගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වෙසක් පෝය දින සහ ඒ ආශ්‍රිත දිනවල දකුණු පළාතේ බොහෝ ප්‍රදේශවල දන්සැල් ලියාපදිංචිය සහ අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාදීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරමින් සිටින බවත්, මේ වන විට රට පුරා දන්සැල් 2,400 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවත් කසුන් වික්‍රමසිංහ පෙන්වා දෙයි.
ගාල්ල, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැති නාගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමේදී පොහෝ දිනවල දන්සැල්, භූත මන්දිර, හොල්මන් ගුහා, ඔළුබක්කන් නැටුම් සහ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට තීරණය කර තිබුණි.
මීට පටහැනිව කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් නාගොඩ සහ උඩුගම පොලිස් ස්ථාන මෙන්ම නාගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස දන්වමින් නාගොඩ ප්‍රාදේශීය ලේකම් යදිශානී යක්දෙහිගේ, නාගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති යටලමත්තේ පාලිත හිමි සහ ලේඛකාධිකාරි ගම්මැද්දේගොඩ පදුමකිත්ති හිමිවරුන්ගේ අත්සනින් යුතුව නිවේදනයක්ද නිකුත් කර තිබුණි.








