මනම්පිටිය නිමල් ජයරත්න –
-
ගොවිජන සේවා මධ්‍යස්ථානවල බලධාරීන් එම පොහොර මුදා හැර තිබෙන්නේ ගොවිජන සංවර්ධන කාර්යාලවලින් පොහොර තොග වශයෙන් නිකුත් නොකරන ලෙස දැනුම් දී තිබිය දි…
ජාත්‍යන්තර යුද වාතාවරණය හමුවේ අනවශ්‍ය අයුරින්, පොහොර තොග පුද්ගලයින් රැස් කරන බවට, ගොවිජන සේවා දෙපාර්තමේන්තු සහ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ලිඛිතව දැනුම් දී ඇති පරිසරයක මනම්පිටිය, සඳුන්පුර, කන්තලේ, යන ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථානවල තිබූ පොහොර තොග ව්‍යාපාරිකයින්ට බෙදාහැර තිබෙන බවත් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකර නීතිමය පියවර ගන්නා ලෙසත් ශ්‍රි ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති තිලක් බණ්ඩාර සඳහන් කරයි.
යුද වාතාවරණයත් සමඟ විදෙස් රටවලින් පොහොර නොලැබෙන බවට පැතිර යන රාවයත් සමග ඇතැම් මහා පරිමාණ ව්‍යාපාරිකයින් රජයේ සතු පොහොර ගොවි ජන සේවා මධ්‍යස්ථානය හරහා කූට ලේඛන සකස් කරමින් මිලදීගෙන ඒවා ඉදිරි යල කන්නයේදී ගොවියන්ට වැඩිමිලට විකිනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් සමග මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.
මාර්තු 09 වෙනිදා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින්, පොහොර සංචිත නිකුත් නොකරන ලෙසට දන්වා තිබියදි මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් වැලිකන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට යුරියා පොහොර මිටි 196 ක් ලබාදී ඇති බවද තිලක් බණ්ඩාර චෝදනා කළේය.
යූරියා පොහොර ගොවියන්ට අවශ්‍ය නොමැති කාලයකදී, සඳුන්පුර ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් රුපියල් 9100 ක් වටිනා යුරියා පොහොර රුපියල් 9400 බැගින් ගොවීන් නොවන කිහිපදෙනෙකුට නිදහස් කිරීම පිළිබඳව ද වහාම පරීක්‍ෂණයක් සිදුකරන ලෙස තමා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා හෙතෙම කීවේය.
ගොවිජන සේවා මධ්‍යස්ථානවල කමිටුවේ කිසිදු අනුමැතියක් නොමැතිව මෙලෙස වැඩිමිලට පොහොර විකිණීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, රජයේ ගබඩාවල තිබෙන පොහොර සංචිත ව්‍යාපාරිකයින් ලබාගෙන කොරෝනා වසංගත සමයේදී යුරියා පෝර මිටියක් රුපියල් 40,000 ත් 50,000 අතර මිලකට අලෙවි කර බවත්, යුධ වතාවරණය හමුවේ ශ්‍රී ලංකාවට පොහොර නැව් නොපැමිණීම මත, ව්‍යාපාරිකයින් ලබාගන්නා මෙම පොහොර ගොවින්ට රුපියල් 40,000 ත්,50,000 ත් අතර මිලකට ලබාගැනීමට සිදුවනු ඇති බවත් තිලක් බණ්ඩාර පෙන්වා දුන්නේය.
මනම්පිටිය ගෝජන සේවා මධ්‍යස්ථානයේ යූරියා පොහොර මිටි 196 ක් වැලිකන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ලබාදීම පිළිබඳව අප මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිනි රසිකා අලහකොන්ගෙන් දුරකථනය කළ විමසීමකදී පැවසුවේ, ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලිපියක් පැමිණීමට පෙර එම පොහොර මිටි 196 නිදහස් කර තිබෙන බවය.








