අසේල කුරුළුවංශ –
හෙරෝයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත මහනුවර දෙවන සිංහ රෙජිමේන්තු කඳවුරට අනුයුක්තව සේවය කළ බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු පල්ලේකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව හෙරෝයින් මිලිග්‍රෑම් 130 ක් තිබී ඇති බව පොලීසිය පවසයි. මත්කුඩු ජාවාරම්කරුවන් විසින් පාරිභෝගිකයන් සඳහා රහසිගත ස්ථානවල (Locations) තබන මත්කුඩු පැකට්, ගැනුම්කරුවන් පැමිණීමට පෙර ලබාගැනීමට මෙම නිලධාරීන් කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති අතර, ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් නිවැරදිකරුවන් බවයි. කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලීසිය මගින් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පල්ලේකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.







