නව අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා මේ වනතෙක් කළ සාකච්ඡාවල නිශ්ඡිත සාර්ථක ප්‍රතිඵල නොමැති බව දේශපාලන අංශ පවසයි.
දෙදිනකට පෙර නීතිඥ සංගමයේ යෝජනාවලිය අනුව නව ආර්ථික වැඩපිළිවෙළක් තුළ රට බාරගැනීමට තමන් සූදානම් කී සමගි ජන බලවේගය අද යළි ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් පමණක් ආණ්ඩුව භාර ගැනීමට තමන් සූදානම් බවය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒ පිළිබඳව අද (10) තීරණය කළ බව හර්ෂණ රාජකරුණා මාධ්‍යයට පැවසුවේය.
තම පක්ෂය සිය ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ ද හමුවී සාකච්ඡා කළ බව ඔහු කීවේය.
මෙම දේශපාලන ගැටලුව විසඳා ගැනීම සඳහා මැදිහත්වී සිටින රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ඕමල්පේ සෝබිත හිමිගෙන් කළ විමසුමක දී උන්වහන්සේ කියා සිටියේ දින ගණනාවක සිට සාකච්ඡා පැවැත්වූ නමුත් මෙම ගැටලුව සම්බන්ධව අද වනතෙක් නිශ්චිත එකඟතාවයට පැමිණ නැති බවය.
එහෙත් චම්පික රණවක මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අර්බුදය හමුවේ අගමැති ධුරයේ වගකීම භාර ගැනීමට සූදානම් බව පවසා ඇත. කරු ජයසූරිය අගමැතිවරයා ලෙස පත්කරගෙන අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම පිළීබඳ සංවාදය මග නැවතී තිබේ.
මේ තත්ත්වය රට බරපතල ව්‍යසනයකට ඇද දමමින් ඇති බවත් නීතියේ ආධිපත්‍යය ගිලිහෙමින් ඇති බවත් වෘත්තීයවේදීහු පෙන්වා දෙති.