අමායා උඩුවැරැල්ල –
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ගොවීන් සඳහා සමූපකාර අංශයේ ලොව විශාලතම ධාන්‍ය ගබඩා සැලැස්ම අද දියත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
රුපියල් කෝටි ලක්ෂ 1.25ක ආයෝජනයකින් ඉදිරි වසර පහ තුළ ටොන් ලක්ෂ 700 ක ගබඩා ධාරිතාවක් නිර්මාණය කරන බව ඔහු දැනුම් දී තිබෙනවා.
මෙම යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාව පුරා ගබඩා දහස් ගණනක් ඉදි කෙරෙනු ඇති
මේ යටතේ අද (24) ප්‍රාන්ත 11ක් පුරා ප්‍රාථමික කෘෂිකාර්මික ණය දෙන සමිති 11ක් විසින් පිහිටුවන ලද ගබඩා 11ක් මෝදි විසින් විවෘත කළා. ඉන්දියාවේ ප්‍රාථමික කෘෂිකාරමික ණය දෙන සමිතියක් කියන්නේ කෙටි කාලීන සමුපකාර ණය ව්‍යුහයේ කොටසක්. එය බිම් මට්ටමේ ආයතනයක්. මෙම ණය දෙන සමිති ගොවීන් සහ අනෙකුත් ග්‍රාමීය ශිල්පීන් සතුයි. ණය දෙන සමිති කළමනාකරණය කරන්නේ ඒ ප්‍රජාවන් විසින්.
මෝදි අද තවත් ප්‍රාථමික කෘෂිකාර්මික ණය දෙන සමිති 500 ක ගබඩා සහ අනෙකුත් කෘෂි යටිතල පහසුකම් නිර්මාණය කිරීමට ද පදනම දැම්මා. රට පුරා ප්‍රාථමික කෘෂිකාර්මික ණය දෙන සමිති 18,000ක් පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතියක් ද ඔහු අද ආරම්භ කළා.
“අද අපි අපේ ගොවීන් සඳහා ලොව විශාලතම ගබඩා යෝජනා ක්‍රමය දියත් කර තිබෙනවා. මේ යටතේ රට පුරා මහා පරිමාණයේ ගබඩා සහ කුඩා ගබඩා දහස් ගණනක් ඉදිකරනු ඇති,”
“පසුගිය රජයන් කිසිවිටෙකත් මේ ප්‍රශ්නය ගැන නිසි අවධානයක් යොමු කළේ නැහැ. නමුත් අද ප්‍රාථමික කෘෂිකාර්මික ණය දෙන සමිති හරහා මේ ගැටලුවට විසඳුම් ලැබෙනවා. ලෝකයේ විශාලතම ආහාර ධාන්‍ය ගබඩා කිරීමේ වැඩසටහන යටතේ ඉදිරි වසර පහ තුළ ටොන් ලක්ෂ 700 ක ගබඩා ධාරිතාවක් ඇති කරනවා. රුපියල් කෝටි ලක්ෂ 1.25 ක් ඒ සඳහා වැය වනු ඇති,” අගමැති මෝදි පැවසුවා.
අපි අප සතු දේ ලෝකයට විකුණමින් අමුතු ජාතියෙ උත්කර්ෂවත් සංවර්ධනයක් ගැන කියද්දි මෝදි ඉන්දියාව තුළ ප්‍රජාව ශක්තිමත් කරමින් ඔවුන්ගේ ජාතිය ආර්ථිකව ස්ථාවර කරනවා. ලෝකයේ හොඳම ආහාර සුරක්ෂිතතාවක් සහිත ජාතිය අවුරුදු 5ක සැලසුමක් ඇතුළෙ ගොඩ නගන්න හදනවා. අපි අපේ ගෙදර තියන බඩු ටික විකුණගෙන කාලා 2048 සංවර්ධිත ජාතියක් වෙන්න සැලසුම් කරනවා.
අපි හරි වෙනස් ජාතියක්.