බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමට සැලසුම්කර ඇත්තේ එම රක්ෂණ සමාගමේ හිටපු සභාපතිවරයා බවත් මෙම ඝාතන සැලසුමට ප්‍රධාන හේතුව නව සභාපතිවරයා මින් පෙර හිටපු සභාපතිවරයාගේ මූල්‍ය දූෂණ අනාවරණය කිරීම නිසා බවත් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.
මෙම ඝාතන තැතට හේතුවූ නඩුව කොළඹ වාණිජ මහාධිකරණයේ විභාගවෙමින් පවතින බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ උප සභාපති ලෙස කටයුතු කළ මීගොඩ වල්පිට තිසර උයන ප්‍රදේශයේ පදිංචි වත්මන් සභාපතිවරයා පසුගිය 02 වනදා අභිනව සභාපති තනතුරේ වැඩ බාරගැනීම සඳහා නිවසේ සිට මෝටර්රථයෙන් යමින් සිටියදී පාගමනින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි.
වෙඩි තැබීමෙන් සභාපතිවරයාට තුවාල සිදුවිය.
බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ හිටපු සභාපතිවරයා විසින් තම සමීපතමයෙකු වන මාතර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල සභාපතිවරයා හරහා කළුතර වරකාගොඩ බස්රථ හිමි ව්‍යාපාරිකයෙකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම අපරාධය සිදුකර ඇති බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතන සිද්ධිය සම්බන්ධව සැක පිට මේ වනවිට මාතර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල සභාපතිවරයා හරහා කළුතර වරකාගොඩ බස්රථ හිමි ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයින් සිවු දෙනෙක් මීගොඩ පොලිසියේ අත්අඩංගුවට පත් වි තිබේ.
එම බස්රථ හිමි ව්‍යාපාරිකයා ප්‍රභූ පුද්ගලයින් ට ආරක්ෂාව සපයන පුද්ගලික ආරක්ෂක අංශයක සේවය කළ අයෙකි.
මෙම බස් රථ ව්‍යාපාරිකයා විසින් කුලියාපිටියේ පදිංචි හිටපු හමුදා සෙබළාට මෙම ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව පවරා තිබි ඇත.
ඝාතකයා රැගෙන යතුරුපැදිය පැදවීමට හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ බස් කොන්දොස්තර රැකියාව කරන පුද්ගලයෙකු ද බස් රථ ව්‍යාපාරිකයා විසින් ඝාතකයාට හඳුන්වාදී ඇති බව පොලීසිය සඳහන් කරයි.
බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සමාගමේ හිටපු සභාපතිවරයා විසින් මෙහෙයවූ කණ්ඩායම මෙම ඝාතන කොන්ත්‍රාත්තුව අදාල කල්ලිය වෙත ලබාදී ඇත්තේ මාස කිහිපයකට ඉහතදී බවත් අවස්ථා කිහිපයකදීම වෙඩිතැබීම සඳහා නිවස ආසන්නයට පැමිණිය ද ඒ සෑම අවස්ථාවකදීම එය සාර්ථක වී නොමැති බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී තිබේ.
මෙදින වෙඩිතැබීමෙන් අනතුරුව වෙඩික්කරු කිලෝමීටරයක් පමණ දුරකට දිව ගොස් අනතුරුව ත්‍රීරෝද රථයක නැඟ පළාගොස් තිබූ බව පොලීසිය කියයි.
සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන අත්තේ හිටපු සභාපතිවරයා විසින් ඝාතන කොන්ත්‍රාත්තුව භාරගත් , මාතර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල සභාපතිවරයාය. ඔහු විසින් සැකකාර බස්රථ හිමි ව්‍යාපාරිකයා අමතා වැඩේ සිදු කිරීමෙන් අනතුරුව සතුටු විය හැකි ආකාරයෙන් මුදලක් ගෙවන බවට පවසා තිබූ බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.
ඔහු එම අදහස සඳහා මනාපය පළකර ඇත්තේ ඔහුගේ බස්රථ ව්‍යාපාරයේ ඇතිවූ මූල්‍ය අර්බුදයක් නිසාවෙන් බවටද හෙළිවී තිබේ.
ඒ හේතුවෙන් මෙම පුද්ගලයා විසින් ඝාතන කොන්ත්‍රාත්තුව භාරගෙන තිබූ බව දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත.
ප්‍රධාන සැකකරු වන මාතර දිස්ත්‍රික් සමූපාකාර මණ්ඩල සභාපතිවරයා විසින් මෙම ඝාතනය සඳහා වෙඩික්කරුට ලබාදුන් ගිනි අවිය ඔහුට ලද ආකාරය එම ගිනිඅවිය යොදාගෙන තවත් අපරාධ සිදුකර ඇත්ද යන්නත් විශේෂයෙන් සොයා බලන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
දෙරණ –