ජානක ලියනආරච්චි –
හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ යැයි සැක කර පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ ගුවන් හමුදා රග්බි ක්‍රිඩක රාජපක්ෂ පතිරගේ දිමන්ත ලක්මාල් මරණයට පත් වී ඇත්තේ උදරයට සහ පපුවට වැදුන වෙඩි ප්‍රහාර දෙකකින් අභ්‍යන්තර අවයවවලට හානි වීම නිසා බව මරණ පරීක්ෂණය සිදුකළ අවිස්සාවේල්ල අධිකරණ වෛද්‍යවරුන් විසින් නිගමනය කර තිබේ.
ඔහුගේ උකුල් ඇටයට පහළින් කලව ප්‍රදේශයට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබී ඇත.
අධිකරණ වෛද්‍ය අංශ පවසන්නේ මිය ගිය තැනැත්තා මත්ද්‍රව්‍ය භාවිත කර සිටියා ද නැද්ද යන්න සම්බන්ධව නිගමනය කළ හැක්කේ මිය ගිය පුද්ගලයාගේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් හෝ රුධිර සාම්පලයක් රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමෙන් පමණක් බවය.
රස පරීක්ෂකවරයාට යවන රුධිර සාම්පලයක වාර්තාව පැමිණීමට සති කීපයක් ගතවිය හැකි බව ද එම අධිකරණ වෛද්‍ය ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැනගන්නට ඇති පරිදි එවැනි පරීක්ෂණයක් සිදුකර නැත.
ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩකයා සම්බන්ධව කළ විමසීමක දී ගුවන් හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කළේ වසර 15ක ගුවන් හමුදා සේවා ඉතිහාසය තුළ මෙම හමුදා සෙබලාගේ එකම විනය විරෝධී කටයුත්තක්වත් වාර්තා වී නැති බවය.
එමෙන්ම ඔහු රන් පදක්කම් ලාභී ජාතික මට්ටමේ රගර් ක්‍රීඩකයෙක් බැවින් ඔහු ඉදිරිපත්වන සෑම තරගාවලියකදීම ජාතික මට්ටමින් සිදුකරන තහනම් ඖෂධ භාවිතය පිළිබඳ තහවුරු කරන පරීක්ෂණවලට යටත්වන බවත්. ඒ කිසිම අවස්ථාවක ඔහුට මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ චෝදනාවක් ගොනු වී නැති බවත් ගුවන් හමුදා ආරංචි මාර්ග කියන්නේය.
තවද මෙම මෙම කෝප්‍රල්වරයා රගර් ක්‍රීඩාවම පුරුදු කරන, එහි නියැලෙන ක්‍රීඩකයෙක් බැවින් ඔහුගෙන් ගිනි අවි භාවිතයේ ශඛ්‍යතාවය සම්බන්ධව අපේක්ෂා නොකරන බව ද සිදුවී ඇති ඝාතනය පළපුරුදු ගිනි අවි භාවිතා කරන්නෙක් විසින් සිදුකළ ප්‍රහාරයක් බව මූලික අධ්‍යයන්හිදී ම පෙනී යෑම සැලකිය යුතු යැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේය.
කෙසේ වෙතත් ගුවන් හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කළේ සාපරාධී ක්‍රියාකාරකමකට සම්බන්ධ නිලධාරීන්ගේ ඕනෑම සම්බන්ධයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව බැරෑරුම් ලෙස සලකන අතර, සිද්ධිය විමර්ශනය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවය.
මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා ගේ නියෝගය මත ආරක්ෂක අමාත්‍යාංශය සමග සම්බන්ධව විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.