කොළඹ – දිලංගා ගෝමස් –
හේළි මිය ගියාය. ඇයගේ මරණය සිදුවූයේ ඊයේ (07) ය. මරණය කාටත් පොදුය. එහෙත් හේළි මෙසේ මිය යන්නට නොසිටි බවට වූ කතා ඇයගේ මරණයත් සමග ඇසෙන්නට වූයේය.
හේලි ගැන ලියන්නට අප පොළඹවන්නේ ඒ කාරණාවය.
හේලි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින අප්‍රිකානු වර්ගයේ (ගැහැණු) ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් අයෙකි. ඇයට රෝගී වූයේ ඉදිරි පාදයේ කුරයක ඇති වූ ආසාදනයක් නිසාය . ඇය හිටියේ පාදයේ ආබාධයට ප්‍රතිකාර ලබමිනි.
මෙම ආබාධ තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය 6 වන දින එම සත්ත්වයා නිර්වින්දනයට ලක් කළේය. එහෙත් ඒ නිර්වින්දනයෙන් ඇය යළි නැගිට්ටේ නැත. ඇය අවසන් ගමන් ගියාය.
අප්‍රිකානු ජිරාෆ් යුවලකට දාව 1993 වර්ෂයේදී ශ්‍රී ලංකවේ උපත ලැබූ “හේලි” මිය යන විට 30 වන වියේ පසුවූවාය. දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද වැරදි එන්නත්කරණයකින් ඇය මිය ගිය බව ශ්‍රී ලංකා පොදු ජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු දෙහිවල සේවක සංගමය චෝදනා කළේය.
දැන් සත්ත්වෝද්‍යානයට ඉන්නේ එක් ජිරාෆ් සතෙක් පමණි. හුදකලා වූ එ් සතාගේ ඉදිරි පැවැත්ම සම්බන්ධව කුමක් වේදැයි අවිනිශ්චිතය.
පසුගිය වකවානුව පුරාම අපට අසන්නට ලැබුනේ දෙහිවල සත්ත්වෝද්‍යානය තුළ මිය ගිය සතුන් ගැනය. ජීවිතයට වඩා මරණයට ලං වී සිටින සතුන් සත්ත්වොද්‍යානයකින් වාර්තා වීම මහා ඛේදවාචකයක් වැනිය.
සත්වෝද්‍යානය තුළ මිය යන ඕනෑම සතෙකු පිළිබඳ විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරනු ලැබේ. මිය ගිය “හේලි” සම්බන්ධයෙන් ද නිර්පාක්ෂික විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවට ජාතික සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු පවසන්නීය.
සතෙක් මිය ගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තේරුමක් ඇත්දැයි අපට වැටහෙන්නේ නැත. ජීවත්ව සිටින කාලය තුළ අවශ්‍ය රැකවරණය සහ ආරක්ෂාව නොලැබෙන්නේ නම් එවැනි සත්ත්වොද්‍යාන පවත්වා ගැනීමේ තේරුමක් නැති බව පමණක් ලියා තැබිය යුතුය.







