කොවිඩ් හේතුවෙන් හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ අනෙකුන් පාසල්වල 11 ශ්‍රේණිය ජනවාරි මස 25 වැනි දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසීය.
බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර දිවයිනේ සෙසු පළාත්වල පාසල් ප්‍රාථමික ශ්‍රේණි ද ඇතුළත් ව ජනවාරි මස 11 වැනි දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පියවර ගෙන ඇති අතර, එළඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව සලකා බස්නාහිර පළාතේ ද 11 ශ්‍රේණි සිසුන් සම්බන්ධයෙන් මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට 1-11 ශ්‍රේණි දක්වා සියලු පාසල් සිසුන්ට අදාළ පෙළ පොත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් වෙත බෙදාදීමට පියවර ගෙන ඇති බව ද මීට අමතරව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් ඕනෑම පෙළ පොතක් අන්තර්ජාලය හරහා බාගත කරගැනීමට ද අවස්ථාව සලසා ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසරේ මාර්තු මාසයේ අග හෝ අප්‍රේල් මාසයේ මුල් සතිය වනවිට ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ අනුව, ඔවුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ඉතා කෙටිකාලයක් තුළ සම්පාදනය කර දෙමින් කොවිඩ් හේතුවෙන් මඟහැරී ගිය කාලය පාඩුවක් නොවන අයුරින් ආවරණය කරන්නට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ය.
එමෙන් ම, පසුගිය වසරේ දෙසැම්බර් මාසයට යෙදී තිබූ සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මාර්තු මාසයට කල් දැමීම නිසා දරුවන්ට කිසිදු පාඩුවක් හෝ කාලය අපතේ යාමක් සිදු නොවන්නට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉතා ඉක්මණින් ලබාදීමට පියවර ගන්නා බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා, එම දරුවන් වෙනුවෙන් උසස් පෙළ පන්ති ජූලි මාසය වනවිට ම ආරම්භ කිරීමට ද සියලු පියවර ගන්නා බව පැවසීය.
පාසල් සිසුන් ප්‍රවාහනය, පාසල්වල විවේක කාලය පැවැත්වීම, ගුරුවරුන් සිසුන් සහ දෙමව්පියන් විසින් අනුගමනය කළ යුතු පොදු උපදෙස් ද ඇතුළත් මාර්ගෝලදේශ මාලාවක් සෑම පාසලක් වෙත ම මේ වනවිටත් නිකුත් කර ඇති බවත්. ජනවාරි 6 වැනි බදාදා දින සිට ජනවාරි 10 ඉරිදා දක්වා කාලය තුළ පාසල් තුළ මෙම සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළ පදනම් කරගනිමින් ගුරු-දෙගුරු හමුවීම් හා සාකච්ඡා මෙන් ම පාසලට අදාළ සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙළ සකස් කරගත යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.