අල්ලස් කොමිසම විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරී සුමතිපාල මහානාම අබේවික්‍රම සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ සරත්චන්ද්‍ර ගුණරත්න අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනා මත සුමතිපාල මහනාම අබේවික්‍රම අද (03) පෙ.ව. 9.15 ත් ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරවෙකු වූ සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක පෙ.ව. 10.15 ටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරු අයි.එල්.කේ. දිසානායක වෙත ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ පළමු උපලේඛනය යටතේ නිකුත්කර තිබූ චෝදනා පත්‍රයක් අනුව පැවැති විධිමත් විනය පරීක්ෂණයකින් පසුව වරදකරු කර එකී දුම්රිය රියදුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න විසින් නිකුත් කර තිබූ විනය නියෝගය සම්පූර්ණයෙන්ම වෙනස්කර ඉහත දුම්රිය රියදුරු සේවයෙන් පහකිරීමට කටයුතු නොකර ඔහුට වාසියක් සිදු කිරීම සම්බන්ධව හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී සුමතිපාල මහනාම අබේවික්‍රම අත්අඩංගුවට ගෙන තිබේ.
නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය “සිරිකොත” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපල යොදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් 1,667,294.87 ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද සිදුකිරීම සම්බන්ධව ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරී අධ්යක්ෂ සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඉහත චූදිතයන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.







