විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹු බිරියන්ට ලබා දෙන විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලෙස ඉදිරිපත් වූ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ අන්තර්ගත පොරොන්දුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත් කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත හරහා ලබාගත් ලේඛනයක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
මාර්තු මාසයේදී ලබා ගත් කැබිනට් තීන්දුවක් මත පදනම්ව ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා තිබුණේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රකාශනය වූ ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” – රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගන්නා ලෙසය.
සියලුම අමාත්‍යාංශ ඔවුන් සඳහා හඳුනාගත් කොටස් සමාලෝචනය කර ඇති අතර යෝජිත සංශෝධන ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති බවත්, අවසන් කරන ලද වාර්තාව චක්‍රලේඛයත් සමග ප්‍රසිද්ධ නොකළ ඇමුණුමකින් ප්‍රකාශ කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වූයේය.
සන්ඩේ ටයිම්ස් පුවත්පත ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලීමක් ගොනු කර ලබාගෙන තිබුණේ එම ප්‍රසිද්ධ නොකළ ඇමුණුමය.
මෙම වසර මුලදී ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් විසින් රජය අදහස් කරන ආකාරයට මෙම වරප්‍රසාද කපා හැරීමට ව්‍යවස්ථාමය බාධාවක් ඇති බවත්, ව්‍යවස්ථාමය සංශෝධන නොමැතිව විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙත ලබා දෙන සමහර ප්රතිලාභ අහෝසි කළ නොහැකි බවත් දන්වා තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියේ මෙසේ දැක්වේ. “ යම් තැනැත්තෙකු විසින් ජනාධිපති ධූර භාර ගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චයක කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමට ද ඉන් පසුව එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමට ද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමක්, නැතහොත් ප්රතියෝජනය කිරීමක්, සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූලවන පසුව පනවනු ලැබු යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධි විධානයක් අතීතයට බලනොපන්නේය.” එනම් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන හෝ අහෝසි කරන අනපනතත් අතීතයට බලපාන පරිදි ගෙන ආ නොහැකිය.
තවද 36(4) වගන්තියේ මෙසේ සඳහන් වේ. “ජනාධිපති ධූරය දරන තැනැත්තාගේ වැටුප් දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයෙන් වැඩි කළ හැක්කේය. එහෙත් එම වැටුප්, දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම් අඩු නො කළ යුත්තේ ය. ”
මීට අමතරව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්ම යටතේ ඇති යෝජනා විශාල සංඛ්‍යාවක් අතර – “2022 විරෝධතාවයට අදාළව නොවිසඳුණු සහ නඩු පවරා නොමැති නඩු විසඳීම සහ නිසි අනුපිළිවෙලක් සමඟ නීතිමය කටයුතු කඩිනම් කිරීම” සහ “රට තුළ සහ ඉන් පිටත රැකියා සඳහා සංක්‍රමණය වන පුද්ගලයින්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම” සඳහා වන කැපවීම ද ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් කියයි.
“විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ පාර්ලිමේන්තුව විසින් විධායක බලතල නොමැති ජනාධිපතිවරයෙකු පත් කිරීම” සඳහා වන කැපවීම අදාළ අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මේ රඳවාගෙන තිබේ.







