කොළඹ 07 විජේරාම මාවතේ නිවසක විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි බල මණ්ඩල සේවකයකු සහ රියදුරකුට බැන වැදී ගේට්ටුවෙන් පිටතට තල්ලු කර දැමූ බවට අදාළ සේවකයන් විසින් හිටපු අමාත්‍ය නවීන් දිසානායකට එරෙහිව කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.
කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි මෙම නිවසට අද උදෑසන විදුලි බල මණ්ඩලයේ කොළඹ දකුණ කාර්යාලයේ කණිෂ්ඨ කාර්මිකයකු ලෙස සේවය කරන පුද්ගලයකු රියදුරාද සමඟ මෙම නිවසට ගොස් ඇත්තේ විදුලිය ගාස්තු නියමිත පරිදි නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කරන ලෙසට මණ්ඩලයෙන් ලද රාජකාරිය ඉටු කිරීම සඳහාය.
එහිදී හිටපු අමාත්‍ය නවීන් දිසානායක තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ පැමිණ මෙලෙස බැන වැදී ගේට්ටුවෙන් පිටතට තල්ලු කර දැමූ බවට ඔහු කුරුඳුවත්ත පොලිසියේ සුලු පැමිණිලි අංශයට පැමිණිලි කර ඇති අතර පොලිසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.