හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ පිළිබඳව අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධව පැන නැගුණ බාධක හැකි ඉක්මනින් විසඳාගෙන ආසන්නම ප්‍රායෝගික දිනයක දි මැතිවරණය පවත්වන බවය.
අධිකරණ නියෝගය අනුව ජනාධිපතිවරණයට අනතුරුව වහාම පැවැත්විය යුතුව ඇත්තේ පළාත් පාලන මැතිවරණය බවත් ඒ සම්බන්ධව කොමිෂන් සභාවට කටයුතු කිරීමට සිද්ධවන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.
“අද දිනයේ දි මැතිවරණ කොමිෂන් සභාවේ අපි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව සාකච්ඡා කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්න මේ තීරණයේ සඳහන් ආකාරයට නීතියෙන් නිමය කර ඇති වෙනත් මැතිවරණ පැවැත්වීමේ කාර්යභාර්යයන් වෙත සැලකිල්ල යොමු කරමින් පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්න කටයුතු කරන්න කියලයි.”
” කොමිෂන් සභා සාකච්ඡාවේ දි මෙම කාරණාව සම්බන්ධ කරුණු ගැන නිසි අධ්‍යයනයක් කරලා ඒ සම්බන්ධව කටයුතු කරන්නේ කොහොම ද කියලා සාකච්ඡා වුනා.”
“ඒ අනුව පළාත් පාලන මැතිවරණය වෙනත් මැතිවරණවලට බාධාවක් නොවන ආකාරයෙන් හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරනවා. ඉදිරි කාලයේ දී දිනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.”
තවම මැතිවරණය පැවැත්වීම සම්බන්ධව නිශ්චිත දිනයක් නියම වී නැති බව ද අධිකරණ තීන්දුව මත ඊලඟ මැතිවරණය ලෙස පළාත් පාලන මැතිවරණය සම්බන්දයෙන් කොමිෂන් සභාවට කටයුතු කරන්නට සිද්ධවන බව ද කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.







