ශ්‍රියානි විජේසිංහ –
මඩකලපු ශික්ෂණ රෝහල සතුව පවතින පිලිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම යන්ත්‍රය මගින් දිනකට පිළිකා රෝගීන් 35 – 40 අතර සංඛ්‍යාවකට විකිරණ ප්‍රතිකාර සිදුකරන අතර පසුගිය 2වන දා සිට යන්ත්‍රය අක්‍රීය වීමෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වී අතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පැවසුවේය.
මහනුවර රෝහලේ මෙවැනිම යන්ත්‍රයක් අඩාල වීම හේතුවෙන් සහ හම්බන්තොට රෝහලේ මෙවැනි යන්ත්‍රයක් නොමැති වීම හේතුවෙන් රෝගීන් යොමු කරනුයේද මඩකලපු රෝහලට යැයි ඔහු කීවේය.
දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගීන් රෝහල අවට නිවාස තාවකාලිකව කුලියට ගෙන ප්‍රතිකාර ලබා ගැනීමට සිටින බවත් ඔවුන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බවත් හෙතෙම පැවසුවේය.
විකිරණ ප්‍රතිකාර අතරමග නතර කිරීමෙන් නැවත පිලිකා සෛල ඉතා වේගයෙන් වර්ධනය වන බවද ඔහු පැවසුවේය.
මෙවැනි දෝෂ සහිත යන්ත්‍ර විශාල ප්‍රමාණයක් මේ වන විට රෝහල්වල පවතින අතර මේවා නිසිලෙස රෝහල්වෙත භාර දීමට අදාල සමාගම් කටයුතු කර නොමැති බවද සංගමය පෙන්වා දුන්නේය.
තාක්ෂණික නිලධාරීන් යන්ත්‍රවල නඩත්තු කටයුතු කිරීමේදී සහ දෝෂ යථාවත් කිරීමේදී යන්ත්‍රවල භාරකාරත්වය නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවන්ට පත්වීමට සිදුවූ බව සභාපතිවරයා කීවේය.
මෙම යන්ත්‍ර සදහා වාර්ෂිකව සෞඛ්‍ය අමාත්‍යංශය ඉතා විශාල මුදලක් අදාළ සමාගමට ගෙවන අතර මෙවැනි යන්ත්‍රයක් අක්‍රීය වී දින තුනක් තුළ යථාවත් නොකරන්නේ නම් අදාල සමාගම මගින් දඩමුදලක් අයකර ගත යුතුව ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය එය නිසිලෙස අයකර නොගන්නා බව සංගමය පෙන්වාදේ .