හපුතලේ කොළඹ පාරේ හෝටලයක සේවය කරමින් සිටිය දී නාඳුනන තුවක්කු කරුවන් සිව් දෙනෙක් විසින් හෝලයට තුළ දී ඊයේ (22) රාත්‍රියේ ඝාතනය කරනු ලබන්නේ දකුණේ ප්‍රධාන පෙළේ මනුෂ්‍ය ඝාතන නඩුවක ප්‍රමුඛම සාක්ෂිකරුවා බව විමර්ශන අංශව විසින් අනාවරණය කරගෙන ඇත.
ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු විසින් උක්ත ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස ලබා දුන් සාක්ෂිය ප්‍රකාරව මේ වනවිට පුද්ගලයින හය දෙනෙක් බන්ධනාගාරගතව සිටින බව විමර්ශන අංශ පවසයි.
මේ වැදගත් සාක්ෂිකාර තරුණයාට මේ නඩුව හේතුවෙන් බරපතල මරණීය තර්ජන එල්ල වී තිබී ඇත. එම පසුබිම තක්සේරු කළ අධිකරණය වින්දිතයන් ආරක්ෂා කිරිමේ අධිකාරියට නියෝගයක් කරමින් මෙම පුද්ගලයාට පැය 24ම ආරක්ෂාව සලසන ලෙස දන්වා තිබේ.
එම අධිකරණ නියෝගය ප්‍රකාරව වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් ගන්දර පොලිසියට කරන ලද නිර්දේශ ප්‍රකාරව මෙම පුද්ගලයාට ගන්දර පොලිසිය හරහා පැය 24ම ආරක්ෂාව සැලසීමට කටයුතු කර ඇත.
එහෙත් ඔහු ඉලක්ක කරගෙන මතුවෙමින් ඇති දැඩි තර්ජනය හේතුවෙන් ආරක්ෂක අංශවල ද උපදෙස් මත ඔහු ගමින් පිටවී ගොස් හපුතලේ මෙම හෝටලය තුළ රැකියාව කරමින් සිට ඇත්තේ බාහිර සමාජය සමග දැඩි සම්බන්ධතාවයක් නොපවත්වමිනි. ඔහු බොහෝ විට කාලය ගත කර ඇත්තේත් හෝටලය තුළය.
ඒ ආකාරයෙන් ඔහු වසර එක හමාරක් තිස්සේ මෙම හපුතලේ හෝටලයේ සේවය කර තිබේ.
එසේ තිබිය දී ඔහු පසුගිය දා දෙවුන්දර පෙරහර බලන්නට සිය ගම් පලාතට පැමිණ තිබේ. මේ පුද්ගලයා විසින් ස්වකීය ආරක්ෂාවට තර්ජනයක් ඇතිකරගෙන ඇති ආකාරය තේරුම් ගත් ආරක්ෂක අංශ විසින් ඔහුට දන්වා ඇත්තේ ඔහු මේ වනවිටත් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ මූලිකම දේ විනාශ කරගෙන ඇති බවය. වහාම කිසිවෙකුට නොදැනෙන සේ කලින් සිටි සේවා ස්ථානය වෙත යන ලෙසත් ඔවුන් උපදෙස් දී තිබේ.
මේ එන අතර තුර දී යම් කිසිවෙක් විසින් ඔහු ලුහු බැඳ පැමිණ ඔහු සිටින ස්ථානය පිළිබද නිවැරදිම තොරතුරු ලබා ගත් පසු ඝාතක කල්ලියක් අදාල ස්ථානයට එවා මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශන අංශ උපකල්පනය කර ඇත.
ඒ එස්සේ හපුතලේ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත. හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.