2025 ජූලි 17 වැනි දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ දී රජයට අයත් හන්තාන වත්තෙන් අක්කර 43ක ඉඩමක් දේශපාලන බලපෑම් යොදාගෙන නීති විරෝධී ලෙස තමන්ගේ නමට පවරා ඇති බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් සහ නිලධාරීන් සාකච්ඡා කළ සිදුකරන ලද ප්‍රකාශ මුලුමනින්ම අසත්‍ය පදනමක් රහිත ද්වේශ සහගත පහත් ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාවේ දී කියැවුන අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශය උපයෝගී කරගෙන මාධ්‍ය සහ සමාජ මාධ්‍යය හරහා මෙම ඉඩමේ අයිතිය සම්බන්ධව තමන්ගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ පුවත් සංසරණය වූ බවත් මන්ත්‍රීවරිය කීවාය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව ඉදිරියේ සාකච්ඡවට බඳුන්වුන හන්තාන ඉඩමේ අයිතියක් කිසිම දිනක තමන්ට නොතිබුණ බව මන්ත්‍රීවරිය අවධාරණය කළාය. ඇය කීවේ රජයට අයිති කිසිම ඉඩමක් කිසිම දිනක තමන්ගේ නමට පවරාගෙන නැති බවය. එවැනි ඉඩමක් දේශපාලන බලපෑම් යොදාගෙන අයිතිකරගෙන ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තුළ කරන ලද ප්‍රකාශය අසත්‍ය ප්රකාශයක්වන අතර තමන්ට කරන අපහාසයක් මෙන්ම නින්දාවක් බව කියා සිටියාය.
ඇය කීවේ මන්ත්‍රීවරයෙක් ලෙස මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියා කලාපය ගැන යම් අපහාසාත්මක ප්‍රකාශයක් පල කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක්ම දඬුවම් කළ හැකි වරදක් බවත්, පාර්ලිමේන්තුව තුළ හෝ යම් කාරක සභාවක් තුළ ව්‍යාජ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම දඬුවම් කළ හැකි වරදක් බවය.
එමෙන්ම පාර්ලිමේන්තුව තුළ දී හෝ කාරක සභා තුළ දී මන්ත්රිවරයෙකුට නින්දා කිරිම ශ්‍රේෂ්ඨාධිකරණය හෝ පාර්ලිමේන්තුව විසින් දඬුවම් කළ හැකි වරදක් බව පෙන්වා දුන් චමින්ද්‍රාණි කිරිඇල්ල යම් තැනැත්තෙක් යම් කාරක සභාවක් ඉදිරියේ පරීක්ෂණයක් කරගෙන යන අතරතුර යම් ප්‍රශ්නයකට ඕනෑකමින් පිළිතුරක් ලබා දෙන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 190වන වගන්තිය යටතේ වරදකට ඔහු වරදකරු විය යුතු බව ද මන්ත්‍රීවරිය කීවාය.
ඇය කීවේ හන්තාන ඉඩම සම්බන්ධව කළ ප්‍රකාශය අසත්‍ය සහ නින්දිත එකක් බවත්, ඉන් තමන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවත්, මේ ගැටලුව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන ලෙසත් චමින්ද්‍රාණි කිරිඇල්ල ඉල්ලා සිටියාය.
නියෝජ්‍ය කථානායකවරයා ඒ අනුව එම ප්රශ්නය වරප්‍රසාද කමිටුව වෙත යොමු කළේය.







