අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී එහි පස් වැනි මහලෙන් බිමට වැටී මිය ගිය කාන්තාවගේ සැමියා එම මරණය සැක සහිත බව සදහන් කරයි.
අප්සරා මැණිකේ නැමැති 46 හැවරදි එම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලෙන් බිමට වැටී මිය යන්නේ ඉකුත් 11 වෙනිදාය. රුපියල් කෝටි 6 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලෙන් බිමට වැටී මිය යන්නේ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ වැසිකිලියේ කවුලුවකිනි.
එම කාන්තාවගේ ආරක්ෂාවට පොලිස් කාන්තා නිලධාරීන් දෙදෙනෙක් යොදවා සිට ඇති අතර ඒ අය පවසන්නේ ඇය වැසිකිලි යාමට අවශ්‍ය යැයි සදහන් කිරීම නිසා ඇයව වැසිකිලියට රැගෙන ගිය බවය. ඇයව සහකාර පොලිස් අධිකාරී වැසිකිලියට රැගෙන ගොස් ඇත්තේ සිරකරුවන් වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිලි පහසුකම් තිබියදීය.
ඇගේ සැමියා නීතීඥවරියක් මාර්ගයෙන් කොළඹ අධිකරණයට කරුණු දක්වමින් සදහන් කර ඇත්තේ ඇගේ මරණය සැකසහිත බවය. එම පුද්ගලයා කොටුව පොලීසියට පවසා ඇත්තේ බිරිය දූෂණයට ලක්ව ඇතැයි සැකයක්ද පවතින බවකි.
කොටුව පොලීසියේ උසස් නිලධාරියෙක්ගෙන් ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු සදහන් කරනු ලැබුවේ ඇගේ සැමියා ව්‍යාපාරිකයෙක් බවය. එහෙත් ඇය සමග 2017 වසරේ සිට ඔහුගේ සම්බන්ධයක් නොමැති බව විමර්ශන වලින් පෙනී ගිය බවද එම නිලධාරියා කීය. නමුත් ඔහු සිය බිරිද දූෂණය වී ඇති බවට චෝදනා කරන බවද ඔහු පැවැසීය.
සැමියාගේ කරුණු දැක්වීමට අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරියාට සිතාසි නිකුත්කරනුයේ රම කාන්තාවගේ මරණය සම්බන්දයෙන් මරණ පරීක්ෂණ වාර්තාව කැදවමිනි.
මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොටුව පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සදහන් කර ඇත්තේ ඇය බිමට පැන්නේ යැයි කියන වැසිකිලයේ බිත්තියේ සහ බිම තිබී ඇගිලි සලකුණු සහ පාසලකුණු කිහිපයක් හමුවී ඇති බවය. එම පාසලකුණු සහ ඇගිලි සලකුණු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.