ලංකාවේ ගොඩබිම එක් ස්ථානයකින් අත් අඩංගුවට ගත් වැඩිම විශාල මත්ද්‍රව්‍ය තොගය වන සීනිමෝදරදී හමුවූ රුපියල් බිලියන ගණනක් වටිනා තත්ද්‍රව්‍ය කිලෝ 705කට අධික ප්‍රමාණය උනාකූරුවේ ශාන්ත විසින් ජාත්‍යාන්තර මුහුදේ සිට මහවැල්ල ප්‍රදේශයට රැගෙන පැමිණි බෝට්ටුකරු වූ පුවක්දණ්ඩවේ සනා ජනාධිපති අනුර දිසානායකගේත් හිතවතෙක් බවත්, ජනතා විමුක්ති පෙරමුණට ආධාර උපකාර කළ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් බවත් මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළ විමල් වීරවංශට ප්‍රකාශයක් ලබා දීම සඳහා අනිද්දා තංගල්ල පොලිසියේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබේ.
මේ වනවිට අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්නකරමින් සිටිනා පුවක්දණ්ඩාවේ සනා හෙවත් බෙලිඅත්තේ සනා යනු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී දකුණේ අවසන් රැස්වීම අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක රාත්‍රි ආහාරය සඳහා ගිය නිවස බව විමල් වීරවංශ මාධ්‍ය අමතා පැවසුවේය.
“මේ ගෙදර ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පහුගිය පළාත් පාලන මැතිවරණය අමතලා කෑම කන්න ගිය ගෙදර… ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ඉතාම හිතවත් පුද්ගලයෙක්… ජනතා විමුක්ති පෙරමුණට බොහෝ මුදල් හදල් වියදම් කරන පුද්ගලයෙක්… ජනතා විමුක්ති පෙරමුණට සෑම අතින්ම උදවු කරන පුද්ගලයෙක්… සනත් වීරසිංහ හෙවත් පුවක් දණ්ඩාවේ සනා.. අද පොලිසියට සිද්ධ වෙලා තියනවා මේ පුද්ගලයා අත් අඩංගුවට ගන්න.” විමල් වීරවංශ පැවසුවේය.
මින් පෙරත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධව අත් අඩංගුවට ගත් පුවක් දණ්ඩාවේ සනා හෙවත් බෙලිඅත්තේ සනා ජනතා විමුක්ති පෙරමුණේ විවිධ පිරිස් විසින් කළ බලපෑම් මත නිදහස් කළ බව විමල් වීරවංශ කියා සිටියේය.
අන්තිමට හම්බන්තොට දි අත් අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය ඔහුගේ බෝට්ටු මගින් ලංකාවට ගෙනා බවත්, අනාවරණය වී ඇතැයි කී විමල් මේ පුද්ගලයා සම්බන්ධව සමාජ මධ්‍ය මගින් විශාල පීඩනයක් එල්ල වීමත් සමගම ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලිසියට සිද්ධ වූ බව පැවසුවේය. ඔහු කීවේ පුවක්දණ්ඩාවේ සනා ජනතා විමුක්ති පෙරමුණේ ඉතාම පැහැදිලි හිතවතෙක් සහ ආධාරකරුවෙක් බවය. මේ තිබෙන්නේ විමල් වීරවංශ විසින් කළ ප්‍රකාශය ය.
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා හෙවත් පුවක්දණ්ඩාවේ සනා හෙවත් වීරසිංහගේ සනත් නැමැත්තා තංගල්ල අපරාධ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගන්නේ පසුගිය 01 වැනිදාය. අනතුරුව තංගිල්ල වැඩ බලන මහේස්ත්‍රාත් විදුර වීරකොන් වෙත සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රඳවා ප්‍රශ්න කිරීමට ඊයේ (03) අවසර දුන්නේය. ඒ අනුව එළැඹෙන 09 වැනිදා දක්වා සැකකරු රඳවා ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් පොලිසියට අවසර ලැබිණි.
එම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගිය 02 දා විමල් වීරවංශ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මාධ්‍ය හමුවක් කැඳවා පැවසුවේ මේ කියන පුද්ගලයා සමග ජාතික ජන බලවේගය කිසිම සම්බන්ධතාවයක් නැති බවය.
“ජාතික ජන බලවේගය මේ කියන පුද්ගලයා එක්ක කිසිම සම්බන්ධයක් නෑ. ජනාධිපති අනුර දිසානායක සහෝදරයා මේ නිවසින් කෑව බීවා කියන කතාව එයා කියනවා. අපි වගකීමෙන් කියනවා කිස්සේත්ම ඒ නිවසට ගිහින් නෑ. අපේ කිසිම නායකයෙක් ඒ නිවස එක්ක සම්බන්ධයක් නෑ. කිසිම දේශපාලන සම්බන්ධතාවයක් නැති තැනක්. අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට ඉල්ලිමක් කරනවා මොහුව අත් අඩංගුවට අරන් වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා.”
ඒ අනුව උක්ත ප්‍රකාශය කළ හිටපු අමාත්‍ය විමල් වීරවංශට අනිද්දා තංගල්ල පොලිසියේ පෙනී සිට තමන් කළ ප්‍රකාශය සම්බන්ධව කරුණු දක්වන ලෙස තංගල්ල පොලිසිය විසින් දන්වා ඇත.







