සුමිත් පොතුපිටිය –
ජල විදුලි බලාගාරයක හිමිකරුවකු මෙන්ම සිවිල් ඉංජිනේරුවරයකු අභිරහස් ලෙස අතුරුදන්ව ඇතැයි බොරලැස්ගමුව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, බොරලැස්ගමුව අභයරත්න මාවත පදිංචිව සිටි දූල්වල දේවගේ විජේසිංහ (66) නැමැති ඉංජිනේරුවෙක් බව පොලිසිය කීය.
ඔහු පදවාගෙන යමින් සිටි කැබ් රථය හොරණ මතුගම මාර්ගයේ නාර්තුපාන පාලමට ආසන්නව උඩුවර මංසන්ධිය අසල නවතා තිබියදී අලුයම එකයි තිහට පමණ රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරත අඟුරුවාතොට පොලිසියේ නිලධාරීන්ට ඊයේ (29) අලුයම හමුවී ඇත.
එම කැබ් රථයේ ඉදිරිපස දොරවල් දෙකම විවෘතව තිබී ඇති අතර පොලිස් නිලධාරින් විදුලි පන්දම දල්වා ඒ තුළ නිරීක්ෂණය කිරීමේදී කැබ් රථය තුළ ලැප්ටොප් පරිගණකයක්, ඇඳුම් පැළඳුම් අඩංගු ගමන් බෑගයක් , සෙරෙප්පු යුගලක්, කැප් තොප්පියක් හා රියදුරු අසුනට යාබද අසුන මත මුදල් පසුම්බියක් තිබී ඇතැයි පොලිසිය කියයි.

මුදල් පසුම්බියේ තිබූ දුරකථන අංකයකට පොලිස් නිලධාරීන් ඇමතුමක් ලබා දීමෙන් අනතුරුව බොරලැස්ගමුව අබේරත්න මාවතේ ඉංජිනේරුවරයාගේ බිරිඳ ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර සිය සැමියාට රාත්‍රී 8.30ට පමණ දුරකථන ඇමතුමක් ලබා දීමේදී ඔහු කැස්බෑව ප්‍රදේශය පසුකරගෙන පැමිණෙන බවට බිරිඳට කියා ඇතැයි ඇය කරන ලද ප්‍රකාශයක සඳහන් වේ
අනතුරුව සිවිල් ඉංජිනේරුවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ උදවිය ඊයේ (29) අලුයම නාර්තුපාන පාලම අසලට පැමිණ කැබ් රථය හඳුනාගෙන තිබිණි
අතුරුදන්ව සිටින සිවිල් ඉංජිනේරුවරයා බලන්ගොඩ පිහිටි ඔහුට අයත් කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා ඉකුත් 25 වෙන දින බොරලැස්ගමුව අබේරත්න මාවත නිවසින් පිටත්ව ගිය බවට බොරලැස්ගමුව පොලිසිය වෙත (29) අලුයම ම පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
හොරණ පොලිස් නිල සුනඛ බෲනෝ ඉංජිනේරුවරයා පරිහරණය කරන ලද කැප් තොප්පිය සහ සෙරෙප්පු යුගලය ඉව කිරීමෙන් අනතුරුව මීටර් 20 ක් පමණ ගොස් ආපසු හැරී පැමිණි බව පොලිසිය කියයි
සිවිල් ඉංජිනේරුවරයා යම්කිසි කණ්ඩායමක් විසින් පැහැර ගත්තාද ? ඔහු නාර්තුපාන පාලමෙන් කළු ගඟට පැන සිය දිවි නසා ගත් බවට හැඟවීමට ඔහුගේ කැබ් රථය ඒ ආසන්නයට ගෙනත් දැම්මාද? වැනි පැති කීපයක් ඔස්සේ විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අඟුරුවාතොට පොලිසිය සහ බොරලැස්ගමුව පොලිසියේ ඒකාබද්ධව පර්යේෂණ පවත්වති







