ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් චීනයේ සයිනොපෙක්, ඕස්ට්රේලියාවේ යුනයිටඩ් පෙට්ට්රෝලියම්, ඇමරිකාවේ ආර් එම් පාර්ක්ස් යන සමාගම්වලට විකිණීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු මස 27 දා කැබිනට් මණ්ඩලයේ සම්මත කර ගෙන තිබූ ප්‍රධාන කොන්දේසි තුනෙන් දෙකක් ඉවත් කර ගනිමින් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර විසින් අලුත්ම කැබිනට් සන්දේශයක් සම්මත කරගෙන ඇති බව වාර්තා වේ.
මෙම සමාගම් සමග ගිවිසුම් අත්සන් කර තිබුණේ ඉහත පළඹු කැබිනට් පත්‍රිකාවේ අදාල කොන්දේසි මත වුවද පසුව එම ප්‍රධාන කොන්දේසි දෙකම ඉවත් කරගෙන එම සමාගම්වලට මෙරට ඛණිජතෙල් වෙළෙඳපොල නිදහසේ අත්පත් කරගැනීමට ඉඩ දී ඇති බවත් එම කොන්දේසි ඉවත්කරගැනීම හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගණනක මූල්‍යමය පාඩුවක් සිදුවී ඇති බවත් ඛණිජතෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ඒ අනුව එම කොන්දේසි දෙක සම්මත කරගනු ලැබූ බව සැලකීමත්, තෝරාගත් සමාගම් දෙක වෙනුවෙන් ගිවිසුම්ගත වීම සඳහා ආවරණ අනුමැතියක් ලබා දීමත් නව කැබිනට් පත්‍රිකාවෙන් සිදුකර තිබේ.
විදේශ සමාගම් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපල වෙත ගෙන්වා ගැනීම සඳහා 2023.03.27 දින මුල් වරට සම්මත කරගත් කැබිනට් සංදේශයට අනුව අලුතින් ඉන්ධන වෙළඳපලට හඳුන්වා දෙන සමාගම් තුන ඛණිජ තෙල් විකුණා ලබන ආදායම වසරක් යන තුරු එක්සත් ජනපද ඩොලර් හෝ වෙනත් විදේශ ව්යවහාර මුදලකට පරිවර්තනය කළ නොහැකිය වූයේය.
විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විපේසේකර විසින් පසුගිය මැයි 19 වෙනි දින ඉදිරිපත් කරන ලද අංක 17/2023 දරන අමාත්ය මණ්ඩල සංදේශයට ජූලි මස 06 වැනිදා අනුමැතිය ලබා ගනිමින් තෙල් සමාගම් වෙත පැනවූ එම කොන්දේසිය ඉවත් කරගෙන ලබන ආදායම් වහාම කිසිදු සීමාවකින් තොරව විදේශ මුදල්වලට පරිවර්තනය කර ගැනීමට ඉඩ දී තිබේ.
මාර්තු 27 මුල් කැබිනට් සංදේශයේ තිබී ජූනි 06 වෙනි දින කැබිනට් සංදේශයෙන් ඉවත් කර තිබෙන රටට අවාසි සහගත දෙවන කොන්දේසිය වන්නේ මෙම සමාගම් විසින් මෙරට විකුණුම් වටිනාකමින් 1%ක මුදලක් පුරස්කාර (Royalty paymet) වශයෙන් ඛනිජ තෙල් අමාත්යංශයට ගෙවිය යුතු බවට සම්මත කර ගත් කැබිනට් සංදේශයේ තිබූ වගන්තියය. මුදල් පුරස්කාරක ගෙවීම ඛණිජතෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අදාලවන කොන්දේසියක් නොවන බැවින් නව සමාගම් තරගකාරීව වෙළඳපලට පිවිසීම සඳහා මෙම කොන්දේසිය ඉවත් කරගෙන ඇති බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත්ව තිබූ ඉන්ධන පිරවුම්හල් 450කට වැඩි සංඛ්යාවක් මෙම විදේශ සමාගම් තුනට පවරාදීම ක්රියා කරන අතර විකුණුම් ආදායම් වහාම ඩොලර් බවට පරිවර්තනය කිරීම සහ ඛනිජ තෙල් අමාත්යංශයට ගෙවිය යුතු 1% පුරස්කාරය ඉවත් කර ගැනීම මගින් මසකට ඩොලර් මිලියනයක් පමණ රටට අහිමි වෙන බව ගණන් බලා ඇත.
කෙසේ වෙතත් විදේශීය සමාගම් රට තුළ ඉන්ධන විකුණා ලබා ගන්නා ආදායම සිය මව් රටවලට ප්‍රේෂණය කිරීම ඉන්ධන ආනයනයක කර රටට ගොඩබෑ දිනයේ සිට මාස 12ක් යනතුරු නොහැකි බවට පනවා ඇති කොන්දේසිය ඒ ලෙසම පවත්වා ගත යුතු බව මහ බැංකුව දී ඇත.