සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුව තුළ සටන් පාඨ, පුවරු ප්‍රදර්ශනයක කරමින් විරෝධතාවක් පැවැත්වීය.
ඒ ඊයේ පැවති සජබ විරෝධතාවට පොලීසියෙන් කරන ලද බාධාවන්ට මහජන ආරක්ෂක ඇමතිවරයාට සහ පොලීසියට විරෝධය පළකරමිනි.
එම අවස්ථාවේදී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුබණ්ඩාර මහතා පොලිස්පතිවරු හා නියෝජ්‍ය පොලිස්පතිවරු පිළිබඳ හෙළිදරව්වක් කළේය.
“තමුන්නාන්සේලා ඊයේ රටේ කරගත්ත ලොකුම මෝඩකම කරගත්තා. පොලිස් ඇමතිතුමනි බොහොම ලැජ්ජයි. තමුන්නාන්සේලා දේශපාලනය කරාට කමක් නෑ. දැන් පොලිසිය දාලා මේ රටේ දේශපාලනය කරන්න යනවා. අපි දන්නවා තමුන්නාන්සේලාට, පොහොට්ටුවට මිනිස්සු නෑ. මිනිස්සු නැති වුණාම අද පොලිසිය දාලා අපේ නායකයින්ගේ අපේ ප්‍රාදේශීය නායකයින්ගේ ගෙවල්වලට ගිහිල්ලා තමුන්නාන්සේලා තර්ජනය කරා. බොහොම ලැජ්ජයි.
පොලිස්පතිට අපි කියනවා පොලිස්පති පත්කරලා තියෙන්නෙ මේ රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න. අද පොලිස්පති මං අහන්නේ… පොලිස්පති. ඕකේ හිටිය නියෝජ්‍ය පොලිස්පතිවරු වැඩි කොටසක් සිරිකොත නිදාගත්ත මිනිස්සු. එක පොලිස්පති කෙනෙක් ඉන්නවා ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ. ඒ දවස්වල සමගි ජන බලවේගයේ. දැන් තමුන්නාන්සේලා කරලා තියෙන ඔක්කොම තුප්පහිකම් ඔක්කොම දේවල් කරනවා.
අපි සන්තෝෂ වෙනවා සමගි ජන බලවේගයට කොච්චර බයද කිව්වොත්, රටේ හැම නගරයකම හැම පාරකම බැරියර් දාලා තමුන්නාන්සේලා කටයුතු කළේ. ලැජ්ජයි ආණ්ඩුව. බයවෙලා ආණ්ඩුවට කට උත්තර නෑ. පාස්කු ඉරිදා ඒවා අල්ලන්නේ නෑ. බැරියර් දාන්නේ අපිව අල්ලන්න.
අපි අවුරුදු පහක් තමුන්නාන්සේලාට මේ රටේ ඉන්න දෙන්නේ නෑ. අපි ඊට ඉස්සෙල්ලා මේ ආණ්ඩුව ගෙදර යවලා, මේ රටට අවශ්‍ය ජනතාව ඉල්ලන ආණ්ඩුවක් ගේන්න කටයුතු කරන විත්තිය තමුන්නාන්සේලාට ප්‍රකාශ කරනවා.” යැයි ද සජබ මහලේකම්වරයා වැඩිදුරටත් කීය.