සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවැති ක්‍රමය වෙනස් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත පවසයි.
පැවැති ක්‍රමවේදය මගින් ඉඩම් කැබැලි බවට පත්වීම සහ ඔප්පුලාභියා විසින් සෙසු ප්‍රතිලාභීන්ගේ අදහස් නොවිමසා ඉඩම් අලෙවි කිරීම වැනි සිද්ධීන් වැළැක්වීම සඳහා නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව ඔහු කීවේය.
විසල් මහනුවර සංවර්ධනය පිළිබදව රාජ්‍ය ආයතන සහ වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14) පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව කීවේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,ඉකුත් පාලන සමයේදී ඉඩම් ඔප්පු ලබාදීමේ ක්‍රමය මගින් ඉඩම් කැබැලි බවට පත්වූ බවත් එම ක්‍රමවේදය ඔස්සේ ඉඩම් අලෙවි කිරීම ඉතා පහසුවෙන් සිදුකිරීමට හැකියාව ලැබුණු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ හේතුවෙන් ඉඩමේ ප්රතිලාභ ලැබූ පවුලේ සෙසු සාමාජිකයන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව ඉඩම් අයිතිය අහිමිවන බව ද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව නව ක්‍රමවේදයක් සකස් කොට කඩිනමින් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත කීවේය.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්.අබේකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුලු නිලධාරීන් හා ව්‍යාපාරික ප්‍රජාව මෙම අවස්ථාවට සහභාගීවූහ.







