පාර්ලිමේන්තු කමිටු අංක 02 ශාලාවේ දී ජනාධිපතිවරයා විසින් රැස් කළ කැබිනට් රැස්වීමේ දී තමන් කැඳවා විමසූ ප්‍රශ්න දෙකට තමන් නිරුත්තර වී ද නැද්ද යන්න සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ද අසා දැනගත හැකි බවත් මේ කැබිනට් මණ්ඩලය තුළ සාගල රත්නායක සමග බිස්නස් නොකරන අති විශාල පිරිසක් සිටින බැවින් ඔවුන් සිදු වූ දේ කියනු ඇති බවත් හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.
ක්‍රිකට් ගැටලුව විසඳීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කර තිබිය දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ලක්ෂ්මන් කිරිඇලල්ල සමග ඉන්දීය තානාපතිවරයා හමුවූයේ කුමන්ත්‍රණයක් කිරීමට නොව, විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමකට බවත්, තමන් විපක්ෂ නායක කාර්යාලයට යන තුරු කතා කරන්නට යන ගැටලුව කුමක් දැයි කියා හෝ තමා නොදැන සිටි බවත්ය.
තමන් මේ පැහැදිලි කිරිම කළ බව කී හිටපු අමාත්‍යවරයා විපක්ෂ නායකවරයා තමන්ව හමුවන ලෙස ඉල්ලීමක් කළ විට එසේ හමුවන්නේ තමන් පමණක් දැයි ඔහු පාර්ලිමේන්තුවේ දි ප්‍රශ්න කළේය.
එමෙන්ම මහවැලියේ ඉඩම් බෙදීම සම්බන්ධව ප්‍රශ්නයේ දී තමන් ජනාධිපතිවරයා විසින් නියම කළ දිනයේ සිට ඉඩම් සම්බන්ධව කිසිම කටයුත්තක් නොකළ බවත්, තමන් විසින් මේ ඉඩම් බෙදීම සම්බන්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණු හෙයින් අමුතුවෙන් නිරුත්තර වන්නට දෙයක් නැති බවත් කීවේය.
මෙවැනි බොරු ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව තමන් කණගාටු වන බව ද හිටපු ඇමතිවරයා පැවසුවේය.