“Shi Yan 6” ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාව සඳහා කොළඹ වරාය ප්‍රවේශයට අවසර ලබා දි ඇත්තේ ඊට අවශ්‍ය සැපයුම් ලබාගැනීමට පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මින් දින තුනකට පෙර ප්‍රකාශ කළත් එම නෞකාව සමග සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා අද (29) සිය පර්යේෂණ කණ්ඩායම සම්බන්ධ වීමට නියමිත බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය හෙවත් නාරා ආයතනය පවසා ඇත.
නෞකාව පසුගිය 25 වැනිදා කොළඹ වරායට ප්‍රවේශ විය.
මින් දින තුනකට පෙර විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පැවසුවේ සැපයුම් ලබා ගැනීම සඳහා පමණක් පැමිණි “Shi Yan 6″ නෞකාවට 28 වන දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තැබීමට අවසර ලබා දී ඇති බවය. ඉන්දියන් සාගරයේ සිදුකරන පර්යේෂණ කටයුත්තක් සඳහා අදාළ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා තිබු නමුත් වරාය ප්රවේශවන තුරුම එම වසරය ලබා දී තිබී නැත.
එහෙත් පර්යේෂණ කටයුතු අද සිට (29) දින දෙකක කාලයක් සඳහා අවසර ලබා දීමට පසුව විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගත් බව දැන් වාර්තා වේ.
Shi Yan 6” නෞකාව හා එක්ව කටයුතු කරන නාරා පර්යේෂණ කණ්ඩායමට නාරා ආයතනයේ පර්යේෂකයන් 04 දෙනෙක් සහ නාවික හමුදාවේ දෙදෙනෙක් සම්බන්ධ වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒ අනුව, හෙට (30) සහ අනිද්දා (31) යන දෙදින තුළ මෙරට මුහුදු සීමාවේ බටහිර ප්‍රදේශයේ අදාළ නෞකාව සමග පරීක්ෂණ කටයුතුවල නිරත වන බව නාරා ආයතනය සඳහන් කර ඇත.
එහිදී මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර එම පරීක්ෂණ 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අඛණ්ඩව සිදුකර තිබේ. 2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරන පළමු අවස්ථාව මෙය බව නාරා ආයතනය කියයි.
මෙම නෞකාවේ පැමිණීම සම්බන්ධව ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සිය කනස්සල්ල පල කර තිබුණේ මුහුදු පත්ල සිතියම් ගත කිරිමේ අධිතාක්ෂණික හැකියාව මේ නෞකාවට ඇති බැවිනි.
එහිදී ඔවුන් කණස්සල්ලට පත් වූයේ ඉන්දියන් සාගරයේ මුහුද අභ්‍යන්තර ආරක්ෂා ජාලයට මේ නෞකාවේ පැමිණීම බරපතල තර්ජනයක් උපදවන බව දක්වමිනි.







