මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාලව මහාධිකරණ ත්‍රිපුද්ගල නඩුවේ ප්‍රධාන චූදිතයෙක්වන යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීමේ චෝදනා මත අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද ත්‍රි කුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 25 වැනිදා දක්වා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වන්නේ 2010 වසරේ ජනවාරි මස 24 වැනිදාය. එදා සිට මේ දක්වා කළ විමර්ශනවලදී ආනාවරණය වී ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවය. මේ අපරාධය සම්බන්ධ විශ්‍රාමික බ්‍රිගේඩිර් ෂම්මි කුමාරරත්න ඇතුළු 10 දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ. එම නඩුව මේ වනවිට විභාග වෙමින් පවතී.
එම චූදිතයින්ගෙන් එවකට ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ. ඔවුන් යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධව රාජකාරි කළ පුද්ගලයින්ය.
අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකාරයින් ආරක්ෂා කිරීමේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අද ත්‍රී කුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් දැනුම් දුන්නේ විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න එක්නැලිගොඩ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක්වන සුරෙෂ් කුමාර් නැමැත්තාට තර්ජනය කර ඇති බවය.
විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයාගේ දුරකථන අංකයෙන් අවස්ථා කීපයක දී මෙලෙස මෙම සාක්ෂිකරුට තර්ජනය කර ඇතැයි හෙළි වී තිබේ.
මේ අතර පසුගිය 06 වැනිදා එම දුරකථන අංකයෙන්ම හිටපු හමුදා සාමාජිකයෙක් සිදුකළ තර්ජනයක් පිළිබඳවත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ තොරතුරු ඇතුළත් වී තිබේ.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට භාවිතා කළ දුරකථන අංකය ඔස්සේ විමර්ශනය සිදුකර කරුණු තහවුරු කරගෙන ඇති බව ද, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
මෙම කරුණු සලකා බලමින් ත්‍රී කුණාමලය අධිකරණය විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. ලබන 13 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පැවැත්වෙන නඩුවට ඔහු ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කළේය.







