දිනසේන රතුගමගේ –
ස්විස්ටර්ලන්ත කාන්තාවක් සමග පෙමින් බැදී රුපියල් ලක්ෂ 60 ක් හා රන්භාණ්ඩ තොගයක් වංචා කළ යාපනය පොලීසියේ දෙමළ පොලිස් නිලධාරියෙකු 16 දා සිට අතුරුදහන් වී තිබේ.
කළින් යාපනයේ පදිංචිව සිටි තරුණියක් ස්විස්ටර්ලන්තයට ගොස් එහි ජීවත් වන අතරවාරයේ ඇගේ ඉඩකඩම් කීපයක් පවුලේ ඥාතීන් විසින් ඇයට හොර රහසේ වංචනික ලෙස ඔවුන්ගේ නම් වලට හරවා ගෙන තිබේ.
මීට වසර තුනකට පමණ ඉහතදී ඇය ස්විස්ටර්ලන්තයේ සිට යාපනයට පැමිණි අවස්ථාවක ඒ සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිල්ලක් කොට තිබේ.
පැමිණිල්ල විභාග කිරීමට ගිය පොලිස් නිලධාරියා හා එම කාන්තාව අතර ඉතා සමීප සබදකමක් හට ගෙන ඇති අතර පසුව එය ආදරයක් දක්වා වර්ධනය වී තිබේ.
ඇයට ආදරය කළ පොලිස් නිලධාරියා එක් ඉඩමක අයිතිය ආපසු කාන්තාව අතට පත් කිරීමෙන් පසුව ඇය හා පොලිස් නිලධාරියා අතර ආදරය තවත් වැඩි වී ඇති අතර කාලයක් යාමේදී විවිධ අවශ්‍යතා කියමින් යාපනය පොලිසියේ පොලිස් නිලධාරියා ස්විස්ටර්ලන්ත කාන්තාවගෙන් ණයට මුදල් ඉල්ලා ගෙන ඇත.
ඇය විසින් පොලිස් නිලධාරියාට ලබා දී ඇති ණය මුදල පමණක් රුපියල් ලක්ෂ 60 ක් වන අතර ඊට අමතරව රන්භාණ්ඩ තොගයක්ද, සාද හා තෑගි සදහාද කාන්තාව තවත් මුදලක් වැය කොට තිබේ.
කාලයත් සමග පොලිස් නිලධාරියා ඇය සමග පැවැත්වූ පෙම් සබදතාවයෙන් දුරස් වීමට පටන් ගැනීම නිසා කාන්තාව ඇගෙන් ණයට ගත් මුදල් ඉල්ලා ඇත.
මේ සමගම පොලිස් නිලධාරියා දුරකතන අංක වෙනස් කිරීම නිසා ස්විස්ටර්ලන්ත කාන්තාව ඇගේ ණය මුදල ලබා දෙන මෙන් මෙවර යාපනයට පැමිණි අවස්ථාවේදී යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
එම පැමිණිල්ල දැමීමත් සමගම අදාල පොලිස් නිලධාරියා යාපනයෙන් අතුරුදහන් වී ඇති බව වාර්තාවේ.
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.