විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාරට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය සහ තනතුරු දැරීම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පෙත්සමක් ගොනු කර ඇත.
ඒ අනුව සජිත් ප්‍රේමදාසට සහ රංජිත් මද්දුම බණ්ඩාරට 2023 ජනවාරි 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා හරහා කොළඹ දිසා අධිකරණයට මෙම පෙත්සම ගොනු කරමින් ඇය කියා ඇත්තේ සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් ලෙස රැඳී සිටින බවය.
ඊට සාක්ෂි වශයෙන් ඩයනා ගමගේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ දිවුරුම් ප්‍රකාශයක් සහ එක්සත් ජාතික පක්ෂයේ විනය ක්‍රියාමාර්ග අභියෝගයට ලක් කිරීමට රංජිත් මද්දුම බණ්ඩාර ගෙන ගිය අධිකරණ ක්‍රියාවලියක් සිය පෙත්සමේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබුණි.
සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 3 (3) වගන්තියේ සඳහන් වන්නේ පාක්ෂිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන්නේ නම් ඔහුට හෝ ඇයට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අහිමි වන බවයි.
සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන දෙදෙනාම සමගි ජන බලවේගයෙහි සාමාජිකත්වය දැරීම සහ සමගි ජන බලවේගයෙහි නායක සහ ප්‍රධාන ලේකම් තනතුරු දැරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සම විභාගය අවසන් වනතුරු ඔවුන් දෙදෙනාට එම තනතුරු දැරීමට ඇති අයිතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඩයනා ගමගේ ඉල්ලා තිබේ.