වාහන සහ පුද්ගලයන් පරීක්ෂාවේ දී සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට පරිභව නොකරන ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් නිලධාරීන්ට දැනුම් දෙයි.
හෙතෙම පෙන්වා දෙන්නේ එවැනි පරික්ෂා කිරීම්වලදී සහ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේ දී ඇතැම් පොලිස් නිලධාරීන් ජනතාව අපහසුතාවට පත්වන ආකාරයට පරිභව කිරීම සිදුකරන දර්ශන මාධ්‍ය ඔස්සේ වරින් වර ප්‍රචාරය වන බවට නිරීක්ෂණය වී ඇති බවයි.
එලෙස පරිභවයට ලක්වන තැනැත්තන්ගේ ආත්ම ගරුත්වයට කැලලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවයට ලක්වන අතර ම එවැනි ක්‍රියා මගින් පොලිසිය පිළිබඳවද අගතිදායි තත්ත්වයක් මතුව පොලිස් කීර්තිනාමයට බලවත් හානියක් සිදුවන බව පොලිස්පතිවරයා සිය ලිපියේ සදහන් කර ඇත.
එබැවින් මේ පිළිබඳව සෑම පොලිස් නිලධාරියකු ම දැනුවත් කළ යුතු අතර එවැනි පරිභව කිරීම් හෝ ජනතාව අපහසුතාවට පත් වන අයුරින් ක්‍රියා කිරීම නොකළ යුතු බවට සියලුම පොලිස් නිලධාරීන්ගේ සාක්කු සටහන් පොතෙහි සටහනක් එම නිලධාරියා මගින් යෙදවීමට ක්‍රියා කළ යුතු බව ද පොලිස්පතිවරයා දැනුම් දේ.
මින් ඉදිරියට එවැනි සිදුවීමක් පිළිබද මාධ්‍ය මගින් ප්‍රචාරය වනු නිරීක්ෂණය වුවහොත් එම නිලධාරීන්ට එරෙහිව මෙන් ම දුර්වල අධික්ෂණය සම්බන්ධයෙන්ද අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව ද විනය පියවර ගන්නා බව පොලිස්පතිවරයා දන්වා සිටී.