මහව අධ්‍යාපන කලාපය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සෑම වසරකම දිවයිනේ ප්‍රමුඛස්ථානය ලබා ගන්නා අධ්‍යාපන කලාපය යි . ඒ සඳහා දරුවන් සූදානම් කිරීමට ගුරුවරු අපමණ වෙහෙසක් දරති. ඒ වන්නියේ අහිංසක දරුවන්ට අධ්‍යාපනයෙන් තොර ජීවිතයක් හෝ අනාගතයක් නොමැති නිසාය. 5 ශ්‍රේණියෙ ශිෂ්‍යත්ව කඩඉම ජය ගැනීම ඔවුන්ට ලෝකය දැකීමට තිබෙන එකම මාවත නිසාය. වන අලි, නියඟ, ගංවතුර, වසංගත ඇතුළු ස්වභාවික ආපදාවන්ට මුහුණ දෙමින් ඔවුන් මේ ගෙවන්නේ බොහෝ දුර්භෝග සහිත ජීවිතයකි. ගුරුවරු කරන්නේ ඒ ශුෂ්ක ජීවිත ගමන්මග හැකි පමණින් සුමට කර දීමය.
දැන් මේ අවුරුද්දේ දරුපැටවුන්ගේත් අම්මලා තාත්තාලාගෙත් මහා අරගලය හමාරය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පෙරේදා නිම විය. විභාගය ලියූ දරුවන් සොයා ලංකාසර අප ගියේ විස්තර විමසන්නට ය. ඔවුන්ට කැප කිරීමට සිදු වූ ළමා කාලය ගැන පුංචිම හෝ පසුතැවීමක් තියෙනවදැයි සොයා බලන්නටය. ශිෂ්‍යත්වය ඔවුන්ට දැනුනේ කෙසේදැයි අසන්නට ය.
“ගොඩක් මහන්සි වුනා. අපේ සර්ලා මිස්ලා මේ විභාගය පාස් කරන එකේ වටිනාකම නිතරම අපිට කියලා දුන්නා. ඒ නිසා උනන්දුවෙන් වැඩ කළා. ප්‍රශ්න හතරක් විතර අමාරුයි. අනිත්වා ලේසියි. අපි කොහොමහරි පාස් වෙන්න ඕන… නැත්නම් අපේ සර්ට දුක හිතෙයි” ඒ එරියාව ප්‍රාථමික විදුහලේ මෙවර ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටි පුතෙකු කී කතාවයි. ඒරියාව ඉස්කෝලය හැමදාම ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පෙරළියක් කරන ඉස්කෝලයකි. ඒරියාවේ අමිල සර් රටක් කතා කළ ගුරුවරයෙකි.
“මේ දවස්වල නිතරම ඇල ඇරලා. ඇලේ වතුර ගියාට නාන්නවත් වෙලාවක් තිබුනේ නෑ විභාගෙ නිසා… ඒත් ප්‍රශ්න පත්තරේ අමාරුයි අනේ… පිටුවක් ම මග හැරුණා. ඒ පිටුවේ ප්‍රශ්න හයක් විතර තිබුණා. ගෙදර අම්මත් අඬනවා.. ටීචර් ත් අඬනවා… මට එපා වෙනවා නැන්දෙ… ප්‍රතිපල එනකම් පාස් වෙයිද ෆේල් වෙයිද දන්නේ නෑ … ” දියබුං ගහසන්නට ඇලට පැමිණ තොන්තුවෙන් ඇල දෙස බලා සිටිනා හෙන්රි ඕල්කට් ප්‍රාථමික විදුහලේ දැරියක් කීවාය. ඒ මලානික ඇස් සහිත පොඩි එකී දෙස කඩා වැටෙන හදවතින් යුතුව බලාගෙන සිටියෙමි.
” සැහැල්ලුවෙන් ලීවා. වෙන දෙයක් වෙයි. අපේ අම්මා මාව ශිෂ්‍යත් පන්තියේ ඇරියෙත් නෑ. ඉස්කෝලේ කරපු දෙයක් විතරයි . සමහරවිට මං පාස්වෙයි” ඒ ඇහැටුවැව බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ දරුවෙක් කීවේය. කී සැනින් පොඩි එකා කුරුල්ලෙක් මිටින් හළ සේ දිව ගියේය. .
“මටනම් එපා නම් එපා වෙලා හිටියේ. අයියලා දෙන්න හැමදාම සෙල්ලම් කළා. මට හැමදාම ඔන්ලයින්. ශිෂ්‍යත්ව විභාගෙ ඉවර වෙන්නෙ කවද්ද කියලා හිටියෙ. ඒත් විභාග ලියන්න ගියාම හිතුනා මේක ලියන්න කොච්චර දුක් වින්දද කියල. ඒත් පාස් වෙයිද ෆේල් වෙයිද දන්නෙ නෑ ….” ඇඹුල්ගිරිය ප්‍රාථමික විදුහලේ පුතෙක් කීවේය.
ඒ අතරතුර ගල්ගමුවේ දැරිවියක් අපූරු කතාවක් කීවාය…
“මට හරි වැඩක් තමයි වුනේ. උදේ අම්මා මගේ බඩ පුරවල ඇරිය හොඳටම. පේපර් එක ලියද්දි මට බඩගිනි එයි කියල බයේ. ඉන්ටවල් එකට කන්න බනිසුත් දුන්නා.. දෙකම කන්න කිව්වා … මං ඉතින් කෑවා .. දෙවැනි පේපර් එක ලියද්දි මට මුළු peapar එක පුරාම වමනෙ ගියා. මට වුනේ මොකක්ද තේරුනේ නැහැ. එතන හිටිය ටීචර් පව් .ඒත් ටීචර් ඉක්මට මගේ පේපර් එක හෝදලා…. අයන් එකක් රත් කරලා ගෙනත් වේලල දුන්නා. විනාඩි දහයක්වත් ගියේ නෑ. ඒ ටීචර් ම උදැල්ලක් ගෙනත් වැලි දැම්මා . මගේ ඩෙස් එක හෝදලා පිහල මේස රෙද්දක් දාලා දුන්නා… මට ඒ ටීචර් ට ආදරේ හිතුනා.. එයා අපි අම්මා වගේ කියලා හිතුනා. සමහරවිට මං විභාගය පාස්වෙයි… ”
තවත් පුංචි පුතෙක් කී කතාව යළිත් මා කම්පනයට පත් කළේය.
“කොරොනා ටිකක් අඩු වුනාට පස්සේ පන්ති කලේ ඉස්කෝලේමයි. යන එන පාරේ අලි… උදේට බයෙන් බයෙන් ඉස්කෝලෙ ට……මගේ තාත්තා නෑ . අම්මා මාව ඉස්කෝලෙට දාලා හේනට යනවා… පන්ති ඉවර වුනාහම සර් තමයි මාවයි, තව යාලුවෙකුයි ගෙදරට ගිහින් දාන්නෙ… ඉතිං හොඳට ලීවා.
කොහොමහරි විභාගය පාස් වෙන්න ඕන. නැත්තං අම්මයි අපෙ සර් රුයි පව්…“
ලෝකයම අවිචාරවත්ව දුවන තරගයකය. අධ්‍යාපනයේ සීමිත අවස්ථාව තම දරුවා වෙනුවෙන් වෙන්කරදීමට අසීමිත පොරයක යෙදෙන අම්මලා තාත්තලාය. ඔවුන් ඒ තරගයේ යෙදෙන්නේ සියලුම මානුෂික ධර්මතා කුඩු පට්ටම් කරමිනි. ඒ අසංවර පොරපිටියේ තැලී පොඩි වී විකල් වූ පුංචි උන් හොඳටෝම ඔත්පල වී සිටින බව දකිමි. උන් මේ ලෝකයට ආදරය කරන, අනෙකාට ආදරය කරන, ගෞරව කරන අනාගත මිනිසුන් වේ නම් එය සිදුවනු ඇත්තේ ආශ්චර්යයකිනි.
ශිෂ්‍යත්වය දා සවස ගල්ගමුවේ පාසල් ගේට්ටු අභියස කඩාගෙන හැලුනේ ඒ නොදරුවන් මත ඇතිකළ අමානුෂික පීඩනයේ හැඩය බව විශ්වාස කරමි.