මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වී නිවසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගිය පුවතක් අඹන්පොල පොලිසියෙන් වාර්තා වේ. දැරිය පැහැරගෙන ගොස් තිබුණේ යතුරුපැදි කරුවෙකි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
සිසුවිය අඹන්පොල මධ්‍ය මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිට ඇත. ඇය මෙම විභාගයට පෙනී සිට ඇත්තේ මහව අධ්‍යාපන කලාපයේ අබකොලවැව කනිටු විදුහලේ සිසුවියක් ලෙසිනි. ඇය අඹන්පොල අමුණුගම ග්‍රාමයේ පදිංචි දැරිවියකි.
ශිෂ්‍යත්ව විභාගය අවසන් ව ඇය තම යහලු යෙහෙලියන් සමගින් කුඩා ලොරි රථයකින් අමුණුගම හන්දියට ගොස් ඇත. එතැන් පටන් පයින් තම අමුණුගම නිවෙසට යන අතරමඟදී යතුරු පැදියකින් පැමිණ නාදුනන අයෙක් නිවසට ඇරලවීමට යැයි පවසා ඇය යතුරු පැදියට ගොඩ කරවාගෙන ඇත.
නිවස අසලට ගිය එම යතුරු පැදිය නිවස පෙනි පෙනී වෙනත් මගකට හරවා තිබේ. යතුරුපැදිකරු එම සිසුවියට පාසැල් උපකරණ ලබා දෙන බවට ප්‍රකාශ කර සිසුවිය සමග අඹන්පොල ඇහැටුවැව මාර්ගයේ ගමන් කර ඇත.
එහිදී සිසුවිය කෑ ගැසීමට උත්සාහ කළ විට කෑ ගැසුවහොත් ඇය මරණ බවට පවසා තිබේ. නාකොළගනේ හන්දියෙන් එරියාව දෙසට හැරවූ යතුරු පැදිය ටික දුරක් ගොස් එරියාව ගමට ඇතුල් වන ස්ථානයේ ඇති කැලෑ ප්‍රදේශයට හරවා තිබේ. එසේ හරවා මද දුරක් ගිය යතුරුපැදිකරු දහම් පාසල් ගොස් එමින් සිටි සිසුවෙක් දැක කැලෑ ප්‍රදේශයේ යතුරු පැදිය නතර කර සිසුවිය දමා පලා ගොස් ඇත.
දහම් පාසල් සිසුවා සහ මාර්ගයේ ගමන් ගත් කිහිප දෙනෙක් සිසුවිය දැක එම ස්ථානයට ගොස් කරුණු විමසා තිබේ. එහිදී සිදුවීම දැනගත් ගම්මු පසුව එකතු වී දැරියගේ පියා එම ස්ථානයට කැඳවා තිබේ. සිදුවීම පිළිබඳව පියා විමතියට පත් වී ඇත.
ගම්වාසීන් පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට කැඳවා තිබිණි. අඹන්පොල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පෙරේරා ගේ උපදෙස් මත කාන්තා පොලිස් පරීක්ෂක හේරත් ඇතුලු පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති .
එම මාර්ගය දෙපස සීසීටීවී දර්ශන ද මේ පුද්ගලයා සොයා ගැනීම සඳහා පරීක්ෂා කරන බව අඹන්පොල පොලිසිය පවසයි.