දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 4586 කට අධික දල වීථි වටිනාකමකින් යුත් (බිලියන 4.586ක්) අයිස් (Crystal Methamphetamine) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද කොළඹ වරාය වෙත අද (18) උදේ රැගෙන ආවේය.
මෙම ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා තිබූ උර දහ තුනක පැකට් 94 ක් තුළ අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 128 ග්‍රෑම් 327 ක් සහ පැකට් 98 ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 106 ග්‍රෑම් 474 කට අධික තොගයක් ගබඩාකර තිබිය දී අත්අඩංගුවට පත් විය .
ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229 ක් පමණ (කිලෝමීටර් 424 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ මෙම මෙහෙයුම සිදුකළේය.
ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මෙම මෙහෙයුම ඉලක්ක කරගෙන ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දින ගණනාවක් ආවේක්‍ෂණ කටයුතු කර තිබිණි..
දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229 ක් පමණ දුරින් වූ (කිලෝ මීටර් 424 ක් පමණ) දකුණු මුහුදේ යාත්‍රා කරමින් ඇති සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාවට නිරීක්ෂණය වන්නේ එහිදීය.
මෙහෙයුමේ දී මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් අට දෙනෙක් සහ එම යාත්‍රාවට ඉන්ධන ලබාදීමට පැමිණි බවට සැකකෙරෙන තවත් බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් අත්අඩංගුවට ගත්තේය.
මෙම සැකරුවන් වයස අවුරුදු 29 ත් 59 අතර වයසේ පසුවන තංගල්ල, නාකුළුගමුව, කොස්ගොඩ සහ බලපිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය.
එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.
සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම මඟින් රුපියල් බිලියන 28.05 කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන කර ඇත.