අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය.
තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශානි අබේසේකර ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා ඔවුන්ව දෑඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නීතිඥ ගෞරි තවරාසා මාර්ගයෙන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත්කර තිබේ.
ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය
සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගතවීම ද තහනම් කෙරුණි.
සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට ද ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.