වත්තල පෞද්ගලික රෝහලකදී සිදු කෙරුණු සැත්කමකින් පසුව ඇති වූ සංකුලතාවක් හේතුවෙන් මිය ගිය හර්ෂණී බුද්ධිකා ධර්මවික්‍රම නැමැති තරුණ කාන්තාවගේ මරණය වෛද්‍ය නොසැලකිලිමත්කම මත සිදුවූ බවට පවසමින් ඇයගේ ඥාතීන් විසින් අද (01) වත්තල පොලිසියේ පැමිණිල්ලක් දමා ඇත.
ඇයගේ පවුලේ සමීපතයින් විසින් මෙම පැමිණිල්ල මඟින් ඉල්ලා ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස වන අතර එයින් අනතුරුව ඉදිරි නෛතික පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන් සමඟ පැමිණි නීතීඥ සහන් රාජපක්ෂ මාධ්‍යයට පැවසීය.
පසුගිය මාසයේදී විවාපත් වූ මෙම තරුණ කාන්තාව ආන්ත්‍රික සහ ආමාශයික රෝග පිළිබඳ ශල්‍ය විශේෂඥ වෛද්‍ය හසංජය ගුණවර්ධන විසින් පිත්තාශයේ පවතින ගලක් ඉවත් කිරීම සඳහා වත්තල හේමාස් රෝහලේ දී සැත්කමකට ලක් කොට ඇත.
එයින් පසුව ඇති වූ සංකූලතාවන්ට හේතුව වෛද්‍ය නොසැලකිල්ල ලෙස සඳහන් වූ අතර අදාළ සැත්කමින් පසුව දින ගණනාවක් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගියාය.