කීර්ති ප්‍රනාන්දු –
මෙවර වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි මිල අධික වශයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ නිසා වෙසක් සැරසිලි අලෙවිය විශාල වශයෙන් පහත වැටී ඇති බවත් වෙසක් සැරසිලි අලෙවිකරුවෝ පවසති .
පසුගිය වසරේ රුපියල් 75 ට 80 ට තිබූ සව් කඩදාසි අලවා නොමැති කුඩා ප්‍රමාණය වෙසක් පහන් කූඩුවක් මෙවර රුපියල් 180 දක්වාද සව් කඩදාසි අලවන ලද වෙසක් පහන් කූඩුවක් රුපියල් 300 සිට ඉහලටද විවිධ හැඩයෙන් සහ නිර්මාණයන්ගෙන් යුත් බකට් ලාම්පු රුපියල් 80 සිට 125 දක්වා ද විවිධ මිලගණන් වලට අලෙවි කරන බවද ඔවුහු කියා සිටිති .
මේ ඉකුත් වසරවල රුපියල් 300 සහ 350 මිල ගණන් වලට පැවති විවිධ වර්ණවලින් හා හැඩයෙන් යුත් විදුලි බුබුළු රැහැන් (වැල්) මෙවර රුපියල් 600ත්1500ක් දක්වා මිල වැඩි වී ඇතැයි පවසන වෙළෙන්දෝ විදුලි බිල වැඩි වීම මෙවර විදුලි බුබුළු අලෙවිය පහත වැටීමට බලපා ඇති බවත් කියා සිටිති.
මීට අමතරව රුපියල් 5 ත් 10 අතර මිලට තිබූ ඉටි පහනක් (ඉටිපන්දමක් ) රුපියල් 25ක් දක්වා මිල වැඩි වී ඇතැයිද වෙළෙන්දෝ පවසති .
වෙසක් සැරසිලි හා භාණ්ඩ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වල මිල ඉකුත් වසර වලට සාපේක්ෂව මෙවර ඉහළ යාමත්, අමුද්‍රව්‍ය හිඟයත් ඒවායේ මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි පෙන්වා දෙන වෙළෙන්දෝ මෙවර පිටපළාත්වල වෙසක් සැරසිලි අලෙවිකරණ වෙළඳුන් ගේ අඩුවක් දක්නට තිබෙන බව ද කියා සිටිති .