දිනසේන රතුගමගේ –
මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ඉදි කොට තිබූ යුද සැමරුම් ස්මාරකය කිසියම් පිරිසක් විසින් අද (13 ) අළුයම කඩා බිද දමා ඇති බවට මුලතිව් මුල්ලියාවලෙයි පොලීසියට පැමිණිලි කොට තිබේ.
මෙම ස්ථානයට පැමිණි විශාල පිරිසක් පහන් දල්වා යුද්ධයේදී මියගිය වැසියන් සිහි කිරීම සදහා ආරම්භවන සතියේ මුල් දිනය සමරා ආපසු යාමෙන් පසුව එම ස්මාරකය කිසියම් පිරිසක් විසින් කඩා බිද දමා ඇති බව පහන් දැල්වීමට සහභාගී වූ කතෝලික පියතුමෙකු පැවසීය.
වෙල්ලමුල්ලිවයික්කාල් ස්මාරකය අබියසදී පහන් දල්වා යුද්ධයේදී මියගීය පිරිස සමරනු ලබන්නේ මැයි මස 18 වෙනිදා වන අතර ඊට සතියකට පෙර සිට මෙම ස්ථානයේ පහන් දැල්වීම ආරම්භ කරණු ලබයි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
කොරෝනා වසංගතය නිසා මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයට සමූහ වශයෙන් ජනතාවට පැමිණීම තහනම් කොට තිබියදී ඊයේ (12 ) රාත්‍රී එම ස්ථානයේ පහන් දැල්වීමට කතෝලික පූජකවරුන් පිරිසක් හා තවත් සංවිධාන කීපයක පුද්ගලයන් පැමිණ තිබේ.
මේ අවස්ථාවේදී යුද හමුදාව හා පොලීසිය පැමිණ ඔවුන්ට කරුණු අවබෝධ කොට දී ඇතත් පැමිණි පිරිස පවසා ඇත්තේ වරකට එක් අයෙක් බැගින් ගොස් එම ස්ථානයේ පහන් දල්වන බවයි.
ආරක්ෂක අංශ ඊට අවසරය ලබා දී ඇතත් ඉන් පසුව ඔවුන් එම ස්ථානයේ අලුතින් ඉදිකිරීමක් සිදු කිරීමට අවශ්‍ය බව කියමින් විශාල කළුගලක සනිටුහන් කරණ ලද පලකයක් ලොරියක පටවා ගෙන පැමිණ ඇත.
ආරක්ෂක අංශ ඊට අවසරයක් ලබා නොදීම නිසා පැමිණි පිරිස ආරක්ෂක නිලධාරීන් සමග මත ගැටුමක් ඇති කර ගැනීමෙන් පසුව ඔවුන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
පැය කීපයකට පසුව පැමිණි පූජකවරු පිරිසක් පොලීසියට පවසා ඇත්තේ මීට වසර හයකට පමණ ඉහතදී යුද්දයෙන් මියගිය පිරිස සැමරීම සදහා ඉදි කරණ ලද ස්මාරකය කිසියම් පිරිසක් විසින් කඩා බිද දමා ඇති බවයි.