ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට වෙන් කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සඳහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා යෙදවීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද පාර්ලිමෙන්තුවේ පැවති පොදු මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේය .
එහිදී පවතින ආරථික තත්ත්වය පිළිබඳව කමිටු සාමාජික පාලිමෙන්තු මනත්‍රිවරුන් දැනුවත් කළ මහ බැංකු අධිපතිවරයා කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැති වීමද බලවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවත් පළමුවටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය අද බවත් ඔහු පැවසීය. එම සාකච්ඡා සාර්ථක කොට ණය ප්‍රතිව්‍යුගත කිරීම සහ අදාළ IMF ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බවත් ඒ සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය කාලය තුළ අයවැය පිළියෙල කිරීමේදී ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන ආදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුව ද නොමග යාම සිදුවූ බව මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේ නිසා මෙම ඇස්තමේන්තු ගත රාජ්‍ය ආදායම මත පදනම්ව අමාත්‍යාංශ ඇතුළු වියදම් සඳහා ඉහළ මුදලක් වෙන් කිරීමත් අවසානයේ එම වියදම පියවා ගත නොහැකිව ඉහළ අයවැය පරතරයක් ඇති වීමත් ණය උගුලක හිරවීමටත් මෙම තත්ත්වය හේතු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව ආදායම් බදු නිසි ලෙස අයකරගැනීම සදහා යාන්ත්‍රණයක් ඇති කිරීම, මැණික් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්තයන්ට අදාළව අපනයනයේදී සහ ආනයනයේදී සිදුවන අක්‍රමිකතා වළකා නිසි ආදායම් රටට හිමිකර දීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.
තවද දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මීට පෙර අවසර දෙන ලද මුදලට වඩා වැඩිපුර රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය ලබා ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහාවන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අද පැවති මුදල් කාරක සභාවේ එකඟත්වය හිමිවිය.
අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, ආචාර්ය නාලක ගොඩහේවා, අනුප පැස්කුවල්, ආචාර්ය සුරේන් රාඝවන් ද මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බැංකුව, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.