කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂකයකුගේ නිවසේ සඟවා තිබූ ටී -56 ගිනි අවි සහ තියුණු ආයුධ සමග එම ආරක්ෂකයා අද (35) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
ගුවන්තොටුපොළ වෘත්තීය සමිතියක හිටපු සභාපතිවරයක් ලෙස කටයුතු කළ ගුවන්තොටුපල ආරක්ෂකයෙකුගේ නිවසේ තිබී ගිනි අවි සහ උණ්ඩ තොගයක් අත් අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය කටයුතු කර තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ අවශ්‍යතාවයක් මත මෙම පුද්ගලයා උක්ත ගිනි අවි තමා සන්තකයේ තබා ගෙන සිට ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී මේ වනවිට හෙළි වී ඇත.
සොයා ගත් ගිනි අවි අතර ටි 56 ගිනි අවියක් , උණ්ඩ 14 ක් සමග මැගසිනයක් , පිස්තෝලයක්, 2.5 වර්ගයේ උණ්ඩ නවයක් , 9 එම් එම් වර්ගයේ උණ්ඩ නවයක් , ගිනිඅවි ආකෘති දෙකක් ද වන බව පොලිසිය පවසයි.
ඊට අමතරව කඩු තුනක් හා කිනිසි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත. මිනුවන්ගොඩ පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.








