වේගයෙන් යා යුතු නම් තනිව ගමන් කරන ලෙසත්, බොහෝ දුරක් ගමන් කළ යුතු නම් එක්ව ගමන් කරන ලෙසත් ඇති අප්‍රිකානු ආප්තෝපදේශයක් සිහි කරමින් සෑම ක්ෂේත්‍රයකම වැඩි දුරක් ගමන් කිරීම සඳහා එක්ව ගමනක් යෑමට විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයටත්, සියලු ආගමික සංස්කෘතික සංස්ථාවලටත් ජනතාවටත් ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානාය 78 වැනි නිදහස් දිනය අමතමින් අතිශය ගෞරවනීය ඉල්ලීමක් කළේය.
ජනාධිපතිවරයා පැවසුවේ පෙබරවාරි 04 වැනිදා සමරන නිදහස් දිනය යනු ඉතිහාසයේ සියවස් ගණනාවක් පුරා මුතුන් මිත්තන් වීරෝධාර විරුවන් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් කළ ජීවිත පරිත්‍යාගයන්, මාතෘ භූමිය තෙත් කළ රුධිරය සහ කඳුළු සහිත උත්තරීතර පරිත්‍යාගයන් සිහි කරන සංකේතාත්මක දිනය බවය.
එමෙන්ම 1948 වර්ෂයෙන් පසු අප ලබා ගත් ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද ඇති බවකී ජනාධිපතිවරයා එම පරාජයන් ප්‍රතික්ෂේප කරනවා මෙන්ම ජයග්‍රහණවල සාරය උකහා ගන්නට කිසිසේත්ම පැකිලෙන්නේ නැති බවත් අවධාරණය කළේය.
“1948 වසර කියන්නේ අධිරාජ්‍යයකින් නිදහස් වීම සඳහා සියවස් ගණනාවක් පුරා අපේ ජීවිත පරිත්‍යාගයෙන් අරගල කළ මුතුන් මිත්තන්ගේ වීරත්වයේ වසරයි. බොහෝ අය තමතමන් තමන් වෙනුවෙන් සටන් කිරිම සුලබ දෙයක්. අයෙක් මාතෘභූමිය වෙනුවෙන් සටන් වදිනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම උත්තුංග වීරයින් වෙනවා. අද අප දෙපය තබාගෙන ඉන්න මහපොළව මව්බිමේ උස් නිදහස වෙනුවෙන් සටන් වැදුන අපේ ජනතාවගේ අභිවෘද්ධිය සහ අනාගතය වෙනුවෙන් සටන් වැදුන මුතුන් මිත්තන්ගේ සහෝදර සහෝදරියන්ගේ ලේ කඳුළු වලින් තෙමී ගොස් තිබෙනා. ඔවුන් හැමදාම හදවතේ උස් තැනක ජීවත් වෙනවා. ඔවුන් ගේ උත්තරීතර කැප කිරීම්වලට අප අපේ උතත්මාචාරය පුද කළ යුතුයි. “
නිදහසින් පසුව 78 වසරක් ගමන් කරලා තියනවා. නිදහසේ වැදගත් කාර්යභාර්යය වෙන්නේ අපි මොනතරම් ආර්ථික වශයෙන් නිදහස් ද කියන සාධකය මත. නිදහසේ පරිපූර්ණත්වය වෙනුවෙන් අපට සටනක් තියනවා. එම සටන තිබෙන්නේ අපි ඔබ මා තුළමයි.
අපේ රට ප්‍රෞඪ ඉතිහාසයක් තියන ජාතියක්. අතීතයේ යුගයට ගැලපෙන ඉහළ තාක්ෂණික දැනුමක් තිබුණ සමෘද්ධිමත් ජාතියක්. ඒ වගේම මෑත ඉතිහාසයේ ඇති සියල්ලන්ගෙන්ම බොහොමයක් බැහැර කරගන ගමන් අත්පත් කරගත යුතු සාධනීය ලක්ෂණත් තියනවා. අපේ මාවත වන්නේ අපේ ඉතිහාසය විසින් එක් කර ඇති මහා සාරාය මේ මහපොළාව මත ප්‍රතිස්ථාපනය කිරීමයි. එය තමයි අපේ ආර්ථිකය ගොඩනැගීමේ මාවත වන්නේ. එය හුදු මාතෘභූමියේ අක්මුල් සිඳින ලද සාරය කෙළෙසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවේ. අපේ මාතෘ භූමියේ ජාතියේ සාරය ඒ මත ගොඩනැගෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනගින මාවතට අපි ප්‍රවේශ විය යුතුයි.
නිදහසින් පසු 78 වසර තුළ ජය පරාජයන් දෙකම තියනවා. හොඳ තියනවා නරක තියනව. අපි නරකදේ පැහැදිලිව ප්‍රතිකෂේප කරනවා. ඒ වගේම හොඳ දේ උකහා ගන්න බය වෙන්නේත් නෑ. ඒ නිසා අතීතයේ සාරයන් මත මේ ශ්‍රී ලංකාව ගොඩනැගීමේ වගකීම අප ඔබ මා සතුව තිබෙන බව විශ්වාස කරනවා.
අප ඒ රට ගොඩනගන්නේ කෙසේද?.
-
මානව සම්පත සංවර්ධනය
අපි අපේ හැකියාවන්, ශඛ්‍යතාවයන් අපේ ශක්තීන් පෙළ ගස්වා ගත්තොත් අපට තියන ප්‍රධානම ශක්තිය කුමක් ද?. මහා සමුද්‍ර කලාපයකට අපි හිමිකම් කියනවා. ඉතාම හොඳ දේශගුණික කලාපයක පිහිටලා තියනවා. අපට කියන්න පුලුවන් ස්වභාවික සම්පත්වලින් අනූනනයි කියලා.
අපි විශ්වාස කරනවා ඒ සියල්ලටම වඩා මහඟුම සම්පත අපේ රටේ මානව සම්පත. අපේ රට ගොඩනැගීම සඳහා ස්ථිර අධිෂ්ඨානයකට අපි එනවා නම් අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමග උරෙන් උර ගැටෙන පරිපූර්ණ මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි.
නොදැනුම්වත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතීන් බෙදීම වෙනුවට සමගිය පෙරදැරි කරගත් නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි.
විශේෂයෙන් එහිදී කලාව සාහිත්‍යය අපේ ඉතිහාසය වගේම නව තාක්ෂණය අධ්‍යාපනය මෙම මානව සම්පත දියුණු කිරිමේ දී නව කාර්ය භාර්යයක් ඉටු කරනවා.
එසේ නම් අපිට අපේ රටේ දියුණු මානව සම්පතක් දැනුමින් සහකම්පනයෙන්, තෙතමනයෙන් යුක්තව නූතන තාක්ෂණය ඒකාබද්ධ කර ගත යුතුයි. එසේ කිරිමෙන් ජාතියට අනූන මානව සම්පතක් නිර්මාණයකළ යුතුයි. ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලම පරිවර්තනයක් කළ යුතුයි. ඒ සඳහා අපි සූදානම්.
පැරණි අගතීන් මොනතරම් ප්‍රමාණයකට නව මිනිසෙක් ගොඩනැගීම සඳහා වූ ප්‍රයත්නයට බාධා කරනවා නම් ඒ සියල්ලටම එරෙහිව නව දැනුම නව තාක්ෂණය නව මානවයා නිර්මාණය කිරීම සඳහා අවශ්‍යවන පරිවර්තනීය කාර්ය භාර්ය ඉටු කරන්න අපි සූදානම්. ඒ සඳහා පොදු ජනයාගේ සහාය ලැබෙන බව මා විශ්වාස කරනවා.
-
ජාතික සමගිය
ඒ වගේම ඊලඟ ප්‍රධාන සාධකය වන්නේ මානව ශක්තිය. එයයි ජාතියක ප්‍රධාන ශක්තිය. ඒ ශක්තිය රඳා පවතින්නේ අපේ එකතුවීමෙන්. අපේ මානව සම්පතේ ශක්තිය රඳා පවතින්නේ සමගිය ඇත්නම් පමණයි. බිඳුනොත් ශක්තීන් දුබල වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරය ක්‍රෝධය සැකය නිර්මාණය වුවොත් ප්‍රධානම ශක්තිය දුබල වෙනවා.
ශ්‍රී ලංකාව ආගම් කීපයක් අදහන ජනතාවක් ඉන්න රටක්. තමන්ට අනන්‍ය වූ සංස්කෘතීන් කීපයකින් හිමි ජනතාවක්. ප්‍රධාන වශයෙන් භාෂා දෙකක් මව් භාෂාව ලෙස කතා කරන ජනතාවක්. විශ්වාසයන් සංස්කෘතීන්වල වෙනස්කම් තියනවා. අපි යා යුත්තේ කොතැනට ද.
මේ වෙනස්කම් අපට උපයෝගී කරගන්න පුලුවන් ගැටුම වෙනුවෙන්. මේ වෙනස්කම් අපට අනෙකාට එරෙහිව අනෙකාට එරෙහි අවියක් කරගන්න පුලුවන්. එහෙම කිරීම අපේ ශක්තීන් දුබල කරගැනීමක්.
අපේ පරමාර්ථ වන්නේ මේ වෙනස්කම්වලට ගරු කරමින් එකිනෙක ජන කණ්ඩායම් වල අනන්‍යතාවය පිළි ගනිමින් ශ්‍රී ලාංකික ජාතිය ලෙස කල්පනා කරන නව පරිවර්තනීය යුගයක් ඇති කිරීමට. එය අපට අපට අවශ්‍යයයි.
ජාතිවාදය සහ අන්තවාදය කියන්නේ ශබ්දකෝෂයේ අති අවලස්සනම වචන
අපේ ශබ්ද කෝෂයේ තියන අවලස්සනම වචන දෙක කුමක්ද ?. ජාතිවාදය … අන්තවාදය… ඒ නිසා අපි විශ්වාස කරනවා ජාතිවාදය සහ අන්තවාදය විසින් විය හැකිව වන්නේ අප සතුව තිබෙන ශක්තීන් අප විසින්ම විනාශ කරගැනීම සහ දුබල කරගැනීමක් බව. ඒ නිසා මම නැවත නැවත ශපථ කරනවා අපි අපේ රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ නොදෙන බව…. අපේ රටේ ජාතික සමගිය ගොඩනැගීම හරහා ජාතියේ ප්‍රධානම ශක්තිය ගොඩනගන බව…
-
නීතියේ විධානය ආධිපත්‍යය
ශක්තිමත් මානව සම්පතක් ගොඩනගා ගැනීම, මානව සම්පතේ සමගිය ගොඩනගා ගැනීමෙන් පසු මේ සියලු දෙනාට නීතියේ විධානයේ ආධිපත්‍ය සාධාරණයෙන් යුතුව ඉෂ්ඨවන රාජ්‍යයක් අප ගොඩනැගිය යුතුයි. නව ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතුයි. සෑම කෙනෙක්ම නීතිය කියන රේඛාවට යටින් සිටිය යුතුයි. අපේ රට යළි පොදු ප්‍රවේශයක් තුළ නීතියේ විධානය ආධිපත්‍ය පිළිබඳව විශ්වාසය තහවුරු කළ යුතුයි.
මා හිතනවා කිසිම නිවැරදි පුද්ගලයෙක් නීතියේ විධානය ආධිපත්‍ය තහවුරු කිරීමට බිය වන්නේ නැති බවත් සෑම නිවැරදි පුද්ගලයෙක්ම නීතියේ විධානය ආධිපත්‍ය නිවැරදි විය යුතු බවට පිලිගන්නා බවත්… එහෙත් නීතියේ විධානයේ ආධිපත්‍යය නොසලකා හැරි අය , බිඳ දමන අය නීතියේ විධානය ආධිපත්‍ය තහවුරු වනවාට බිය බවත් අපි දන්නවා.
ඒ නිසා අපිට පැවරී ඇති කාර්ය භාර්යය ශ්‍රී ලංකාව ගොඩනැන්වීමේ දී ගොඩනගමු ශ්‍රී ලංකා කියන තේමාවට පණ ලැබෙන්නේ අපි අපේ නීතියේ විධානය ආධිපත්‍යය නිසි පරිදි තහවුරු කිරීමෙන් පමණයි.
-
තිරසාර පරිසරයක්
ඒ වගේම අපට අවශ්‍යයයි අපේ රට ගොඩනැන්වීමේ දී එය ගොඩනැගිය යුතු වන්නේ වර්ථමානයේ ජීවත්වන අපේ පරම්පාරව වෙනුවෙන් පමණක් නොවෙයි. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් නව රාජ්‍යයක් ගොඩනැන්විය යුතුයි.
මෑත කාලයේ දී ඇති වූ දිට්වා සුළි කුණාටුව දෙස බලන්න. නායේ යෑම් දහස් ගණනක් වාර්තා වුනා. ගංගා ඉවුරු ඉරි තැලීම් ගණනාවක් වාර්තා වුනා. විශේෂයෙන්ම අපේ රාජ්‍යයේ පැවැත්මේ ප්‍රධානම සාධකය මධ්‍ය කඳුකරය. මධ්‍ය කඳුකරයේ සිට රූරා ගලන ගංගා පද්ධතීන් තමයි මේ මාතෘ භූමියට ජීවය කැටුව එන්නේ. මධ්‍ය කඳුකරය වෙත හෙළන මහා වර්ෂාපතනය තමයි මේ මාතෘභූමියට අවශ්‍ය සෞභාග්‍ය ගෙනත් දෙන්නේ.
නමුත් අපි අපේ ජිවිත කාලය තුළම අත් දකිමින් ඉන්නව මධ්‍ය කඳුකරයට සිදුවී තිබෙන හානියේ බරපතල කම. සියලු ස්වභාවික සම්පත් සියලු පරිසර පද්ධති තර්ජනයට ලක් කරමින් ගොඩනගන ශ්‍රී ලංකාවෙන් ඇති ඵලය කුමක්ද?. අපි විශ්වාස කරන්නේ පාරිසරික පද්ධතිය ඉතාම හොඳින් ශක්තිමත් කරන අපි ඉපදෙනකොට තිබුණ ගහකොල සතා සීපාවන් සෞන්දර්ය සහ පරිසරය ඊටත්වඩා වැඩියෙන් අනාගතයට සුරක්ෂිත කරදීමෙන් කර දෙන ශ්‍රී ලංකාවක්.
-
ජාත්‍යාන්තර සහයෝගය
අපේ රට ගොඩනැගීමේ දී අපට විශ්වාස කරනවා ජාත්‍යාන්තර සහයෝගීතාවන් අවශ්‍යයයි. ලෝකය වෙළෙඳපල පිළිබඳ තරගයක බෙදීමෙන් ඉන්නවා. ලෝකයේ එක් එක් රාජ්‍යයන් තමන්ගේ බලය තමන්ගේ දෘෂ්ඨීන් ආධිපත්‍ය ලෙස පැටවීම සඳහා වූ ගැටුමක් තිබෙනවා. ලෝකය සැලකිය යුතු සැලකිය යුතු ප්‍රමාණයක ගැටුම්වලින් සමන්විත නිරන්තරව සිදුවීම් නිර්මාණය කරන ලෝකයක් තියනවා.
අප සිටගත යුතු වන්නේ කොතැන ද? අප සිටගත යුතු වන්නේ අපේ මාතෘ භූමියට වඩාත් ජයග්‍රහණ ගෙනත් දෙන, අපේ මාතෘ භූමියට ආරක්ෂාව වඩාත් තහවුරු කරන අපේ රටේ ජනතාවගේ ජීවිතය වඩාත් උසස් කරන නව මානයකින් යුතු රාජ්‍ය සබඳතාවයන් ගොඩනගාගත හැකි තැනක. එය තමයි අපේ අපේක්ෂාව.
අපේ රට යළි ජාත්‍යාන්තරය තුළ ගෞරවනීය රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම අපේ මේ යන මාවතේ එක් සාධයක් මේ.
මේ කුළුණු මත තමයි ජාතිය ගොඩ නැගිය යුතු වන්නේ. අපේ රට ගොඩනැගීම සඳහා පදනම්වන කුලුණු නිර්මාණය කිරීම අපේ වගකීම. අපට යම් ප්‍රමාණයක සතුටක් සහ ආඩම්බරයක් තියනවා… 2025 වසර ආර්ථිකයේ තිරසාර බව මනින සාධකවල මෑත ඉතිහාසයේ වැඩිම ප්‍රගතියක් සහිත සාධක ආර්ථික තලයේ නිර්මාණය වී තිබෙනවා. 1977න් පසු අඩුම අය වැය හිඟය 2025. 2006 වසරින් පසු වැඩිම ආදායම 2025. ලංකාවේ ඉතිහාසයේම ජංගම ගිනුමේ වැඩිම අතිරික්තය 2025. ඉතිහාසයේම ආදායම් බදු දෙපාර්තමේන්තුව වැඩිම ආදායම ඉපයූ වසර 2025. බැංකු පොලී අනුපාතිකය දිගු කාලයක් තනි ඉලක්කමේ පවත්වා ගත් වසර 2025.
ආර්ථික ප්‍රතිලාභ ඈත ගම්වල ජනතාවට ගලා යා යුතුයි
ආර්ථික සාධකවලින් ඉතාම ශක්තිමත් ජයග්‍රාහී ස්ථාවරයක තියනවා. නමුත් ආර්ථිකයක් රඳා පවතින්නේ ධනාත්මක සාධක සංඛ්‍යා දත්තවලින් පමණක් නොවේ. අපේ ආර්ථිකයේ අත්පත් කරගන්නා ජයග්‍රහණ පතුලේම ඉන්න ජනතාව කරා ගලා යා යුතුයි. ඒ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වන්නේ නැතිනම්, පහසු කරන්නෙ නැතිනම්, මානසික නිදහසක් සහිත ජීවිතයක් උරුම කර දෙන්න ආර්ථික සාධක සමත් වන්නේ නැතිනම් ඒ ආර්ථිකය සංඛ්‍යා දත්ත තුළ පමණක් පිනුම් ගහන ආර්ථිකයක් බවට පත් වෙනවා.
ආර්ථිකයේ ප්‍රධානම ජයග්‍රාහී හැරවුම වන්නේ ආර්ථිකයේ ඉහළ තලයේ අත්පත් කරගන්නා ජයග්‍රහණ ඈත ගමේ පහළම පුරවැසියාගේ ජීවිතය උසස් කිරීමෙන්. ඒ නිසා යළි ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ අභිප්‍රාය ආර්ථිකයේ පහළම තළයේ ඉන්න ජනතාව දක්වා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලාගෙන යන නව ශ්‍රි ලංකාවක් ගොඩනැගීමයි.
සැබෑ නිදහස
ඒ වගේම නිදහස පූර්ණ නිදහසක් බවට පරිවර්තනය වන්නේ අපි මොනතරම් ප්‍රමාණයක් ආර්ථික වශයෙන් ශක්තිමත් ද කියන සාධකය මත.
ආර්ථික දායකත්වය කාරණා දෙකකින් වැදගත්. එක පසෙකින් ජනතාවගේ ජීවිතය ශක්තිමත් කරන්න. අනෙක් පසින් ස්වාධිපත්‍යය සහ ස්වාධීනත්වයේ බලය තහවුරු කරගන්න. අප කළ යුතු වන්නේ ඒ සඳහා අවශ්‍ය නව ආර්ථික දැක්මකින් යුතුව ආර්ථිකය ගොඩනැන්වීමයි.
අපේ කර්මාන්ත කරුවන් ව්‍යවසායකන් රාජ්‍ය සේවකයින් ගොවි ජනතාව, ඇතුළු ජාතියේ ශ්‍රම බලකාය සමග අපි පුළුල් සංවාදයක නිරත වි සිටිනවා. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡාව අපි දියත් කරන තිබෙනවා. 78වන නිදහස් දිනයේ දී අපේ හදවතට එකතු කළ යුතු වන්නේ මේ රට ගොඩනැගීම පිළිබඳව ඒ තිර අධිෂ්ඨානයයි.
ජනාධිපතිවරයා ලෙස මම ද, අපේ කැබිනට් මණ්ඩලය ද, පාර්ලිමේන්තුවේ අපේ විපක්ෂනායකවරයා ද රාජ්‍ය සේවය ද අපේ හාමුදුරුවන් ද ආගමික සංස්ථාවන් ද මේ සියලු දෙනා අපි තිර අධිෂ්ඨානයකට එමු. මේ රට සෑම අතින්ම ගොඩනගමු.
අප්‍රිකානු හිතෝපදේශක් තියනවා. ඔබට වේගයෙන් යන්න අවශ්‍යනම් තනියම යන්න… හැබැයි ඔබට වැඩිදුරක් යන්න අවශ්‍ය නම් එකට යන්න. අපට අවශ්‍ය වී තිබෙන්නේ සෑම ක්ෂේත්‍රයකම වැඩි දුරක් යන්න. ඒ සඳහා අපි එකට යමු කියලා ආරාධනා කරමින් මා නතර වෙනවා.







