රුපියල පා කරන ලෙස විපක්ෂය සහ වෙළෙඳ ප්‍රජාව කළ ඉල්ලීමකට ඇහුම්කන් දෙන්නට තීරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තෙල් මිල ඉහළ දැමීමට සිදු වී බව බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කැස්බෑව නගර ශාලාවේ අද (12) පැවැති ලියවරුණ කාන්තා දින සැමරුම වැඩසටහනට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
ඇමතිවරයා මෙසේ ද කීවේය.
” විපක්ෂය සහ වෙළෙද ප්‍රජාව පසුගිය කාලයේ ඉල්ලීමක් කළා ඩොලරය පාවෙන්න දෙන්න කියලා. ඒ අය මුදල් ඇමතිවරයාට, මහ බැංකු අධිපතිවරයාට දොස් කිව්වා. රජය කල්පනා කරලා පෙරේදා ඩොලරය පාවෙන්න දැම්මා. ඊයේ වෙනකොට ඩොලරයක් රුපියල් 260ක් බවට පත්වුණා.“
“රුසියානු යුද්ධය නිසා තෙල් බැරලය ඩොලර් 130ක් වුණා. ඒ පාඩුව දරන්න පුළුවන් කමක් නැහැ. අපි ගණනය කරලා බැලුවා කොච්චර පාඩුද කියලා. අපිත් තීරණය කළා ඉන්ධන මිල ඉහළ දමන්න.”
” දැන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ඉරිදා දිනයේදීත් සිදුකරනු ලබනවා. පෝලිම් නැතුව ඉන්ධන ගන්න පුළුවන්. නමුත් භාණ්ඩ මිල වැඩිවෙන එක නවත්වන්න බැහැ. ඩොලරය මිල වැඩිවෙන කොට භාණ්ඩ මිල වැඩිවෙනවා. පසුගිය ආණ්ඩුව පාස්කු ප්‍රහාරය වුනාට පස්සේ ඉන්ධන ගත්ත දින 90, 250, 365 ණයට. දැන් අපට ඒවා ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.”