විදුලි බිල සම්බන්ධව සිදුවූයේ රජය බලාපොරොත්තු නොවුන ආකාරයේ නිර්දේශයක් දැයි සිතේ. රාජ්‍ය භාණ්ඩාගාරය විදුලිබල මණ්ඩලයේ ණය කන්දරාව දරාගෙන නැති පරිසරයක මෙවර විදුලි බිල වැඩි කිරීමෙන් ලද බිලියන 41ක ලාභය ණයට හිලව් කළ පසු තවත් බිලියන ගණනක දැවැන්ත ණයක් විදුලිබල මණ්ඩලය දරාගෙන ඇත.
බලයට පැමිණි සැනින් සියයට 30 විදුලි බිල අඩුකිරීම අවුරුදු තුනක් දක්වා කල් දැමීමට ආණ්ඩුවට සිදුවන්නේ ඒ ප්‍රායෝගික පරිසරය තුළය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දැඩිව ප්‍රශ්න කරද්දී විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි මේ සම්බන්ධව ආණ්ඩුවේ අදහස පසුගිය ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවේ දී කීවේය.
“දවසෙන් දෙකෙන් විදුලි බිල අඩු කරනවා කියල අපි කොහෙවත් කියලා නෑ. අවුරුදු තුනක් ඇතුළත තමයි අපි මේක කරන්න සැලසුම් කරලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලය සමග කතා කළාම ඔවුන් යෝජනා කළේ 37%කින් විදුලි බිල වැඩි කරන්න ඕනේ කියලා,” ඔහු කීවේ විදුලි බිල අඩු වැඩි නොකර මේ ආකාරයෙන්ම පවත්වා ගැනීමට තීන්දු කරන්නේ විදුලිබල මණ්ඩලය මෙවැනි යෝජනාවක් ගෙන එන අතරතුර දී බවය.
බලශක්ති අමාත්‍යංශයේ විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු පුබුදු නිරෝෂන් විසින් දෙසැම්බර් මස 12 වැනි දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක දී පවතින තත්ත්වය ගැඹුරු ලෙස පැහැදිලි කළේය. ඔහු පෙන්වා දුන්නේ 2025 වසරේ මුල් මස 6 සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අදායම් සහ වියදම් අතර රුපියල් බිලියන 39ක හිඟයක් ඇතිවන බවයි.
2024 වසරේ දී එම අදායම් වියදම් අතර වෙනස සලකා බැලූ විට රුපියල් බිලියන 41ක අතිරික්තයක් පවතින බවත්, එම අතිරික්තය ඉහත කී බිලියන 39ක හිඟය පියවීමට යොදාගත යුතු බව ඔහු පැවසුවේ ය.
“2025 පළමු මාස 6 තුළ විදුලි ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම යන කොටස් තුනේ වියදම සහ විදුලි බල මණ්ඩලය ගෙවීමට තිබෙන ණයවල එකතුව රුපියල් බිලියන 268ක්. මේ පවතින විදුලි ගාස්තු ක්‍රමයම ඉදිරි මාස හයට පවත්වාගෙන ගියත් අපට ලැබෙන අදායම් පුරෝකථනය වෙන්නේ රු. බිලියන 229යි,” ඔහු පැවසුවේ ය.
“ඒ අනුව තමයි විදුලි ගාස්තුව වැඩි කරන්නේ නැතිව, අඩු කරන්නේ නැතිව පවත්වාගෙන යන්නේ.” පවතින තත්ත්වය පැහැදිලිය. දේශපාලන වේදිකාවල ලබා දුන් “සෙනික පටස්” විසඳුම් භූමියේ දී ලබා දිය නොහැකිය.
මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශය
කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල සියට 20කින් අඩුකිරීමට නිර්දේශ කර තිබිණි. දැන් රජය නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් විදුලි බල පනතේ 30 වන වගන්තිය අනුව මෙම අඩු කිරීම අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක කළ යුතුය. රජය ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කළේ අදාල නිර්දේශ මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර එහි අනුමැතිය ද ලබාගෙන ක්‍රියාත්මක කරන බවය. මුලින් තමන් දැරූ ස්ථාවරය සංශෝධනය කරගෙන විදුලිබල ඇමති කුමාර ජයකොඩි ප්‍රකාශ කර තිබුණේ වසර 3ක් තුළ 30%කින් විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිපත්තියේ එක් පියවරක් ලෙස මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවය.
දැන් අනිවාර්යයෙන් විදුලි බිල අඩු කළ යුතුයි….
මහජන උපයෝගීතා කොමිසමේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂක ජනරාල් ජයනාත් හේරත් ප්‍රකාශ කළේ විදුලි බල පනතේ 30 වන වගන්තිය අනුව මෙම අඩු කිරීම අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරන දත්තවල ඇති විශාල පරස්පරයක් ගැන ද ඔහු හෙළි කළේය. මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දුන්නේ විදුලිබල මණ්ඩලයේ ලාභ අලාභ සහ ඒ මත තීන්දුකරන විදුලිබල තීරණය වන්නේ වැරදි නොවන දත්ත මත බවය.
“මිට පෙර විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ අතිරික්තය විදිහට අපට ලබාදුන්නා පුරෝකථනවල සහ අපි විසින් ඒවා පරික්ෂා කිරීමේ දී ඒ සංඛ්‍යාවල වෙනසක් පවතින බව පැහැදිලි වුණා. විදුලිය ජනනය සඳහා වන වියදම්වල වෙනසක් නිරීක්ෂණය වුණා. ඉදිරි මාස හයේ අදායම් පුරෝකථන අනුව ගාස්තු අඩු කිරීමක් සිදු කරන්න පුළුවන්. ඒ අනුව තමයි මේ විදහට අවසන් තීරණය නිවේදනය කරන්නේ.” විදුලි බිල සියයට 20කින් අඩු කිරීම පිළිබඳව නිවේදනය කරමින් ඔහු කීවේය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ විදුලි බල පනතේ 30 වන වගන්තිය අනුව මෙම අඩු කිරීම අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක වන බවයි.
විදුලිබල මණ්ඩලය කියන්නේ කුමක් ද?
නිවේදනය කළ විදුලි බිල අඩු කිරීම ලංකා විදුලිබල මණ්ඩලයට කිරීමට හැකි දැයි බීබීසී සිංහල සේවය ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්තගෙන් විමසිමක් කර තිබිණි.
“ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපට වියදම් කප්පාදු කරලා කරන්න වෙන්නේ. සංවර්ධන කටයුතු සඳහා වෙන් කරලා තියෙන වගේ වියදම් අඩු කරලා තමයි අඩු කිරීම කරන්න වෙන්නේ,” ඔහු පැවසුවේ ය.
එහි දී බීබිසිය විදුලිබල මණ්ඩලයෙන් විමසන්නේ යෝජිත විදුලි බලාගාර ඉදි කිරීම් මේ හේතුවෙන් නැවත්වීමට සිදුවන්නේ ද යන්නය.
“බලාගාරවලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ට්‍රාන්ස්ෆෝමර් විශාල කරන එක වගේ දේවල් කරන එක අපි කරනවා. ඒ වගේ දේවල්වලට යොදන සල්ලි තමයි අඩු කරන්න වෙන්නේ.” මාධ්‍ය ප්‍රකාශකවරයා විදුලි බල මණ්ඩලයේ ස්ථාවරය කීවේය.
කෙසේ වෙතත් කර්මාන්ත ක්ෂේත්‍රයට සංචාරක ක්ෂේත්‍රයට පදනම සපයන හෝටල් ක්ෂේත්‍රයට විශාලම විදුලිබිල අඩුවීම නිර්දේශ වී තිබේ. මේ තත්ත්වය හැකිලී ගිය ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හේතු වනු ඇති අතර එය වක්‍රාකාර ආයෝජනයක් ලෙස රටට ප්‍රතිලාභ ගෙනෙනු ඇත.
එහෙත් අප විචිකිච්ඡාවට ලක් කරන ප්‍රධානම කාරණය වැරදි දත්ත මත පිහිටා විදුලිබල මණ්ඩලය තීරණ ගනු ලබන ආකාරය පිළිබඳ චෝදනා මහජන උපයෝගීතා කොමිසමේ විද්වත් සභාව විසින් ද තහවුරු කිරීමය. අප ජීවත් වන්නේ ඉලක්කම් සෙල්ලම් හරහා බංකොලොත් කර නන්නත්තාර කරවූ රටකය. ඒ ගිනි පෙනෙල්ලෙන් බැට කෑ අප දැන් කණාමැදිරි එළිවලිනුත් බියපත් වන්නේය. පුරවැසියන් බියපත් නොකිරීම ආන්ඩුවක වගකීම බව සිහි කරමු.







