අද දින පස්වරුවේ සිදුවූ දිවයින පුරා විදුලිය ඇණ හිටීම සම්බන්ධයෙන් සහ එය යළි ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශන වාර්තාවක් දින තුනක් ඇතුළත ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම අද ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට නියෝග කළේය.
අද දින පස්වරු 12.45ට දිවයින පුරා විදුලිය බිඳ වැටුණු අතර එයින් රටේ ආර්ථික කටයුතු, ආයතනික කටයුතු සහ මහජනතාවගේ එදිනෙදා කටයුතු අකර්මණ්‍ය වූ බව මහජන උපයෝගීතා කොමිසමමෙම ලිපිය මඟින් පෙන්වා දී ඇත.
තමන් විසින් විදුලි බල මණ්ඩලය වෙත ලබා දී ඇති බලපත්‍රයට අදාල“ කොන්දේසිවලට අනුව විදුලි බල ජනනය, බෙදා හැරීම සහ සැපයීම යන අංශ තුනේ අඛණ්ඩ සේවාවක් ලබා දීම සඳහා විදුලිබල මණ්ඩලය බැඳී සිටින අතර යම් හෙයකින් විදුලිබලය සැපයීම අත්හිටුවන්නේ නම් ඒ සඳහා පූර්ව අනුමැතියක් කොමිසම වෙතින් ලබා දියයුතු බවද පෙන්වා දෙන මහජන උපයෝගීතා කොමිසම මෙම විදුලිය බිඳවැටීමට හේතු එය යළි ස්ථාපනය කිරීම සඳහා ගත් පියවර සහ ඉදිරියේදී දී මෙවැනි තත්ත්ව ඇති වීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳ ලබන අගෝස්තු මස 20 වැනිදා හෝ ඊට පෙර තමන් වෙත ලැබීමට කටයුතු කළ යුතු බවට මෙම ලිපිය මඟින් නියෝග කර තිබේ.