වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක්ව සිට අධිකරණ කටයුතු මග හැර විදේශගතව උන් කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත ඊයේ ( 23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 2023 දෙසැම්බර් 31 වන දින වැලිගම, පැලෑන ප්‍රදේශයේ පිහිටි W15 හෝටලය අසල සිදුවූ කුප්‍රකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තවත් නිලධාරීන් හත් දෙනෙකු සමඟ මොහුද මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවෙකු ලෙස නම් කර තිබුණි.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් නිලධාරීන් මීට පෙර භාර වී හෝ නීතිමය ක්‍රියාමාර්ගවලට යටත්ව සිටියද, ජගත් නිශාන්ත නීතියෙන් බේරීම සඳහා මෙරටින් පලා ගොස් සිටියේය. ඊයේ ඔහු අත් අඩංගුවට පත් වන්නේ යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී ය.
මෙම සිද්ධිය කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) සහ වැලිගම පොලිසිය යන පොලිස් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකි. මෙහිදී පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර වැලිගම පොලිසියේ වෙඩි පහරට ලක්ව ජීවිතක්ෂයට පත් විය.
විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කිරීමකින් තොරව “හමුදාමය ආකාරයේ වැටලීමක්” (military-style raid) සඳහා වූ නීති විරෝධී උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාස කණ්ඩායම ක්‍රියා කර ඇති බවය.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මාරාන්තික වෙඩි හුවමාරුව සිදුව තිබිණි.







