වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය නිමේෂ් සත්සර නැමැති තරුණයාගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය මැයි මස 16 ආරම්භ කිරීමටත් සිද්ධියට අදාල පැමිණිල්ලේ 1 සිට 5 දක්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද (30) නියෝග කළේය.
අදාල නඩුව අද දින අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මරණ පරීක්ෂණ ඒකකයේ විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුයේ පසුගිය අප්‍රේල් 17 වෙනිදා ලබා දුන් අධිකරණ නියෝගට අනුව අප්‍රේල් 23 මරණකරුගේ දේහය යළි ගොඩගත් බවත්ය.
අධිකරණ නියෝගය පරිදි ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව මගින් නැවත වරක් සිදුකළ මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ කරුණු ද සහිත මූලික වාර්තාවකුත් විමර්ශන නිලධාරීහු අධිකරණයට ඉදිරිපත් කළහ.
විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් පවසා සිටියේ, පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණකරුගේ දේහයෙන් ලබාගන්නා ලද සාම්පල් කොටස් රජයේ වෛද්‍ය නිලධාරියා වෙත මේ වන විට යොමු කර ඇති බවය.
මෙම සිද්ධිය සම්බන්ධව සාක්ෂිකරුවන් 22 කුගෙන් යුත් සාක්ෂි ලැයිස්තුවක් කැදවීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැන්වු විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ 1 සිට5 දක්වා සාක්ෂිකරුවන්ට ඉදිරි නඩු වාරයේ අධිකරණයේ පෙනී සිටින ලෙස ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසය.
එම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා 1 සිට 5 දක්වා සාක්ෂිකරුවන්ට මැයි 16 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
ඒ අනුව නඩුව මැයි 16 වන කැඳවීමට නියම කළේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ සේනක පෙරේරා සමගින් මරණයට පත් වූ නිමේෂ් සත්සරගේ මව සහ පියා අධිකරණයේ පෙනී සිටියහ.







