මාතර තෙලිජ්ජවිල මාලිම්බඩ සිද්ධ වූ වෙඩි තැබීමේ ඉලක්කය වූයේ තමා මිස තම යහලුවා නොවන බවත්, තමන් ඉලක්ක කරගෙන සිදුකළ මේ වෙඩි තැබීමට වෙඩික්කරුවන් මෙහෙයවීම පසුපස සිටින්නේ පොලිිසිය යැයි තමන් විශ්වාස කරන බවත් එම දුරකථනය අලෙවිසල හිමිකාර තරුණයා ඊයේ (21) මාධ්‍ය වෙත පැවසුවේය.
නොකළ වරදකට තමන්ව අත් අඩංගුවට ගත් මාලිම්බඩ පොලිසිය සහ මාතර පොලිසිය දවස් හයක් රඳවාගෙන තමන්ගේ අත පය කැඩෙන තුරු පහරදුන් බව කී තරුණයා තමා එක්තැන් කළ එම පහරදීමට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවය.
එම පෙත්සම ගොනුකළ දා සිට එය අයින් කරගන්නා ලෙස තර්ජනය කරමින් පොලිසියෙන් තමන්ට ජීවිත තර්ජන පවා එල්ල වූ බව ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ මෙම ජංගම දුරකථන අලෙවිසලේ හිමිකාර තරුණයා ප්‍රදෙශයේ මත්පැන් අලෙවිසලකින් රුපියල් ලක්ෂ 21ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් මීට පෙර අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙක් බව බවය.
තරුණයා තමන්ට පහරදුන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්නේ එම අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.
ඔහු කී කතාව මෙසේය.
“සිද්ධිය වුනාට පස්සේ මෙතන මගේ කඩේ ඇතුළේ පොලිස් නිලධාරීන් කීපදෙනෙක් හිටියා. ඒ නිලධාරියෙක්ගෙ දුරකථනයකට මාලිම්බඩ පොලිසියෙ දැනට ඉන්න ඕඅයිසී අලවත්ත මහත්තයාගෙන් කෝල් එක්ක ඇවිත් මම කතා කළා. මම කිව්වා මම ඉලක්ක කරගෙන මේක කරන්න ඇත්තේ කියලා.”
“ඊට පස්සේ ඕඅයිසී මහත්තයා කිව්ව මතකද පොඩි ප්‍රශ්නයක් වුනා නේද ගුරා කියලා කෙනෙක්. එයා තමයි මේ වැඩේ කළේ කියලා කිව්වා.”
“ මම කියන්නේ මම ඉලක්ක කරලා තමයි මේ වෙඩි තැබීම කළේ කියලා. මොකද 2020 දි මට පොලිසියෙන් පහරදිමක් කළා නොකළ වරදකට මාලිම්බඩ පොලිසියෙන් මාතර පොලිසියට අරන් ගිහින් ඒ පහරදිම කළේ. දවස් 06ක් තියාගත්තා. අත පය කඩලා මම එක තැනයි හිටියේ. ඒකට මම නඩුවක් දැම්මා. ඒ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දාපු වෙලාවෙ ඉඳන් මට තර්ජන තිබුණා ගොඩාක්. මට පැමිණිල්ල අයින් කරගන්න කියලා තමයි කිව්වේ.”
“මම කියන්නේ පොලිසිය පැත්තෙන් මේ වෙඩි තිබ්බා කියලායි. මොකද මට කීප වතාවක්ම කිව්වා උඹට ඉන්න දෙන්නේ නෑ. බලමු පොලිසිය එක්ක හැප්පිලා කියලා.”
මොකක්ද වෙන්නෙ උඹට ඉස්සරහට බලාගනින්… එහෙම කිව්වා. මගේ යාලුවට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ මම දන්න තරමින්. ඒ නිසා මම ඉලක්ක කරලා තිබ්බ වෙඩි තැබීමක් කියලා තමයි කියන්න වෙන්නේ. “