ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටුනොවීම පිළිබඳව ද වාර්තා වී ඇති බවත් රජයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළගා වී නැති එවැනි ආයතන පිළිබඳ වාර්තාවක් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා රාජ්‍ය අමාත්‍යවරුන්ට ඊයේ (21) උපදෙස් දී ඇත.
එවැනි නිලධාරීන් හඳුනාගෙන එම ආයතන සඳහා වෙනත් නිලධාරීන් පත් කළ යුතු නම් ඒ සඳහා ද තමා සුදානම් බව ජනාධිපතිවරයා පවසා ඇත.
ජනාධිපති රාජපක්ෂ මහතා මේ උපදෙස් ලබා දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරුන් සමග මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීමේදීය.
ඊයේ පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරුන් ඇමතූ ජනාධිපතිවරයා “මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි අවධාරණය කළේය.
කොවිඩ් වසංගතය හමුවේ වුවද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ බොහෝ දේ ඉටු කර ඇත. ජනතාව තුළ ඇති කණස්සල්ලට හේතුව ඇතැම් රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාව, දූෂණය, කල්ගතවීම බව ජනතාව පෙන්වා දෙති. කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සෘජු මැදිහත්වීමෙන් සහ තාක්ෂණය භාවිතයෙන් ගැටලුවට විසඳුම් දිය හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.
විදේශ ණය සහ දේශීය අය වැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය අධීක්ෂණය කර කඩිනම් කරවීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ ජනාධිපතිවරයා “ජනතාව සමගයි අපේ ශක්තිය තිබෙන්නේ, ඔවුනගේ අවශ්‍යතා කඩිනමින් ඉටු විය යුතුයි. ගැටලුවලට ඇහුම්කන් දෙමින්, ජනතාවගෙන් දුරස් නොවී වැඩ කරන්න” යැයි රාජ්‍ය අමාත්‍යවරුන්ට කියා සිටියේය.
උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහලයාම ස්වභාවයයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය නිසා ගොවි අස්වනු අළෙවි කර ගැනීමට ද නොහැකි වෙයි. එම තත්ත්වය වෙනස් කරමින් මෙවර අලුත් අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ මට්ටමක පවත්වාගෙන යාමටත්, ගොවි අස්වනු මිලදී ගැනීමටත් පළමු වතාවට රජයට හැකි වු බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා රුපියල් පන්දහසේ දීමනාව බෙදා දීමට රාජ්‍ය නිලධාරීන් දැක්වූ සහාය සහ කැපවීම ද ඇගයීමට ලක් කළේය.
රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය පරිපාලන ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.







