දිනසේන රතුගමගේ –
වවුනියාවේ තරණිකුලම් කුරිසුත්තකුලම් වැව් පිටියේ ජලයේ පාවෙමින් තිබූ නාදුනන කාන්තවකගේ මළ සිරුරක් ඊච්චන්කුලම පොලීසිය විසින් ඊයේ (14 ) සොයා ගෙන තිබේ.
වයස අවුරුදු 26 ක් පමණ වන බවට සැක කළ හැකි මෙම කාන්තා මළ සිරුර බෙහෙවින් විකෘති වී තිබූ අතර මළ සිරුරේ කකුලක් සතුන් විසින් කා දමා තිබේ.
වැව් පිටියට ආසන්නයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර දැක ඒ පිළිබදව ඊච්චන්කුලම පොලීසියට දැන්වීමෙන් පසුව පොලීසිය අදාල ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
වර්ෂාව නිසා වැව් පිටියේ කෙලවර දක්වාම ජලය පිරී ඇති නිසා මළ සිරුර ජලයේ පාවී වැව් පිටිය සීමාවේ පිහිටි ඉඩමක් අයිනට ගසා ගෙන ගොස් තිබේ.
මෙම කාන්තාව මීට දින කීපයකට ඉහතදී මියයන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලීසිය වවුනියාව අධිකරණය දැණුවත් කොට විකෘති වූ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව මහ රෝහලට බාර දී තිබේ.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ප්වත්වා ගෙන යයි.







