දිනසේන රතුගමගේ –
අධික වර්ෂාවත් සමගම ඊයේ (12) වවුනියාව ආසිකුලම ගෝමරසන්කුලම වැවේ වැව් බැම්ම කැඩී යාමෙන් එම වැව යටතේ වගා කළ කුඹුරු අක්කර 58 ක් සම්පූර්ණයෙන්ම යටවී තිබේ.

වැව් බැම්ම කැඩී යාමට මත්තෙන් ගම්මානයේ ගොවීන් එකතු වී වැව් කණ්ඩියට වැලි කොට්ට අතුරා වැව කැඩී යාම නතර කර ගැනීමට උත්සහ කොට ඇතත් එම උත්සාහය ව්‍යර්ථ වී ගොස් ඇත.
මෙම වැව කාලාන්තරයකින් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා එහි බැම්ම කැඩී ගිය බව ආසිකුලම ගොවි සංවිධානයේ සභාපති එස්. වේලායුදම් පැවසීය.
වැව් බැම්ම කැඩී යාම නිසා වැවේ ජලය වැව් බැම්ම කැඩී ගිය ස්ථානයෙන් කුඹුරුද යටකරගෙන ගලා යන්නට පටන් ගෙන තිබේ.
එම වැව ගෝමරසන්කුලම ගම්මානයට මදක් ඈතින් පිහිටා තිබීම නිසා වැව කැඩී යාමෙන් කිසිදු වැසියෙකුට හානියක් සිදුව නොමැති නමුත් වැවේ ජලය ඔවුන්ගේ ගම්මානය වෙත ගමන් කරණ මාර්ගය හරහා ගලා යාම නිසා ගම්මානයට යාම් ඊම් සිදු කර ගැනීම විශාල අපහසුවක් වී ඇත.
ගෝමරසන්කුලම වැව කැඩීයාම පිළිබදව ගොවීන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දීමක් කොට තිබේ.
වැසි තත්ත්වයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.
“කාලගුණ තත්ත්වය ගැන ජාත්‍යාන්තර වශයෙන් කියලා තියෙනවා. මේ කාලයේ දැඩි වර්ෂාපතනයක් එනවා. ඒක වැව් කැඩන තරම් බරපතළ වර්ෂාවක්. ඒ කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇති වෙනවා කියලා අපිට දැනුම්දීලා තියෙනවා. ඒ වගේම මේ වර්ෂාව ඉවර වෙලා දැඩි නියඟයක් එනවා කියනවා යල් කන්නයේ. ඒ නිසා තමයි අපි කිව්වේ යල් කන්නයට වගා කරගන්න ඉතුරු කරගන්න වතුර කියලා.”
ඇමතිවරයා පවසා තිබේ.







