ව්‍යාධි ජනක නොමැති බවට ශ්‍රි ලංකාවේ පර්යේෂණාගාරවලින් තහවුරු වන්නටත් පෙර නැව්ගත කරන ලද ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවීන් අඩංගු කාබනික පොහොර තොගය සහිත චීන නෞකාව ශ්‍රී ලංකාවෙන් කළ ප්‍රතික්ෂේප කිරීම් නොතකා කොළඹට පැමිණ මේ වනවිට ඇතුළු වරයාට ප්‍රවේශ වීමට අවස්ථාව නොමැතිව වරායෙන් පිටත නැංගුරම් ලා ඇත.
Hippo Spirit නැමැති මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 15000- 20000ක් ප්‍රමාණයක් සහිතව පසුගිය මස 23 දා චීනයේ ක්වින්ඩාවෝ වරායෙන් පිටත්වූයේ ඔක්තෝබර් මස 06 වැනිදා කොළඹ වරායට සේන්දු වීමේ සැලැස්ම සහිතවය.
එහෙත් පොහොර සාම්පල්වල ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත බව තහවුරු වීමත් සමග පොහොර තොගය ප්‍රතික්ෂේප වූ අතර ඒ වනවිටත් ගමන් අරඹා තිබූ නෞකාව සිංගප්පූරු වරයාට ගමනාන්තය වෙනස් කළේය. පසුගිය 02 දා නෞකාව සිංගප්පූරු වරායට ඇතුළු විය.
සිංගප්පූරු වරායේ නැංගුරම් ලෑ පසු නෞකාවල ගමනා ගමනය දක්වන ඒඅයිඑස් දත්ත පද්ධතියට අදාලව මෙම නෞකාව යාවත්කාලීන වී නොතිබුණි. පසුගිය 15 වැනිදා සිට එහි ගමන් මාර්ගය පෙන්වා තිබුණේ නැත.
මෙම පොහොර තොගය ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත බැවින් ප්‍රතික්ෂේප වූ මුල්ම අවස්ථාවේ දී චීන තානාපති චී. ජෙන්හොන් විසින් අවවාදාත්මක ස්වරයෙන් යුතු නිවේදනයක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත යොමු කර තිබුණේය. ඒ අතර පොහොර තොගය ප්‍රතික්ෂේප වූ බවත් එය අනවශ්‍ය බවත් දන්වා තිබෙද්දී මෙම නෞකාව කොළඹ වරායට පැමිණ තිබුණේ බලහත්කාරයෙනි.
චීනයේ ක්වින්ග්ඩාවෝ සීවින් බයෝටෙක්ක් ගෘෘප් නැමැති මෙම පොහොර සමාගමේ අධ්‍යක්ෂිකා සොං හෙයි මෙයි විසින් ඊයේ (22) කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු බලධාරීන් ගණනාවකට ලිපියක් එවා දන්වන්නේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා චීනයෙන් පිටත් වු පොහොර තොගය සහිත නෞකාව ඔක්තෝබර් 22 වැනිදා කොළඹ වරායවට සේන්දු වන බවය. ඒ ලිපිය එන තුරු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වෙනත් ක්ෂේත්‍රයේ වගකිවයුතු නිලධාරියෙක් පොහොර නැවේ පැමිණීම පිළිබඳ නිල වශයෙන් දැනුම්වත් වී සිට නැත.
ශ්‍රි ලංකාව රටක් ලෙස ප්‍රතික්ෂේප කරද්දී මෙම පොහොර තොගය කොළඹට එවන චීන පොහොර සමාගම සිය ලිපියෙන් රටේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වන්නේ ශ්‍රී ලංකාවේ නිරෝධායන පර්යේෂණාගාරයේ පර්යේෂණ ගුණාත්මක තත්වයෙන් යුතු නැති බවය.
මේ බලහත්කාරී තත්වය තුළ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත සිල්වා හාබර් මාස්ටර් වෙත ලිඛිතව දන්වා ඇත්තේ මේ පොහොර තොගය සහිත නෞකාව ඇතුළු වරායට ප්‍රවේශ වීම සඳහා ඉඩ ලබා නොදෙන ලෙසය.
මෙම පොහොර තොගය ලංකාවට ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා රජය තීරණය කර නොමැති බවත්, මෙම පොහොර තොගය රැගෙන පැමිණෙන ලෙස කිසිම අවස්ථාවක සමාගමට දන්වා නැති බවත්, එසේ ගෙන්වීමට නම් ලංකාවේ ආයතන කීපයකින් ලිඛිත අවසරය ලැබිය යුතු වුවද එවන් අනුමත වූ වලංගු නිල ලේඛනයක් අදාල සමාගමට ශ්‍රී ලංකා රජයෙන් කිසිම අවස්ථාවක යවා නැති බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා හාබර් මාස්ටර් වෙත දන්වා තිබේ.
එබැවින් කිසිදු හේතුවක් මත මෙම නැවේ කිසිම භාණ්ඩයක් වරාය තුළට අතුළු කිරීමට හෝ කිසිදු හේතුවක් මත නැව ඇතුළු වරායට සේන්දු වීමට ඉඩ නොතැබීමට කටයුතු කරන මෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා තිබේ.
එම ලිපියේ පිටපතක් ඔහු චීන පොහොර සමාගමට ද යොමු කිරීමට කටයුතු කර ඇත.